Post has attachment
දවසක් ඒවිද...

පහළොස්වන කොටස


"සුදූ..... මෙච්චර කාලෙකට අපි ඔයාට කිසිම දෙයක් කරන්න බල කරලා නෑ.... හැමදෙයක්ම වුණේ ඔයා කැමති විදිහට... ඇඳුමක් ඇන්දත්, ඉගෙන ගන්න ගියත්, ගෙදර දෙයක් වුණත් ඒක කළේ ඔයාගෙ විදියට.... අපිට ඒ දේවල් මේ වෙනකන් ප්‍රශ්නයක් වෙලා නෑ..."

ඒක ඇත්ත.... එතකොට අයියා දැන් මේ මොනවා කියන්නද ලෑස්ති වෙන්නේ.... මං අක්කා දිහා බැලුවා.... එයා මොකුත් නොකියා ඔළුවෙන් අයියාව පෙන්නුවා... මං ආයෙම අයියගෙ කතාව අහන්න පටන් ගත්තා...

"අපි මේ දේවල් හොරෙන් කරන්න කතා කරනවා නෙවෙයි.... කෙල්ලෙක්ට මේ සමාජෙ තනියම ජීවත් වෙන්න බෑ සුදූ... ඔයාට මතකද දන්නේ නෑ... තාත්තා නැති වුණාට පස්සේ පොඩි ළමයි දෙන්නෙක් එක්ක තනිවුණ අපේ අම්මටත් ගොඩක් කරදර ආවා... ගෑණියෙක්ට පිරිමියෙක්ගෙ ආරක්ෂාව ඕනෙ සුදූ.... තනියම ඉන්නං කිවුවට... ඒක කරන්න ලේසි නෑ...."

"ඒත් අයියේ...."

මං අයියගෙ කතාවට බාධා කළා...

"ඉස්සෙල්ලා මං කියන දේ අහන්න සුදූ.... අනික ඔයා දැන් අහන්න යන දේ මං දන්නවා.... මට ඔයාව බලාගන්න බැරිකමක් නෑ... මං මැරෙනකං හරි ඒක කරනවා... කවදාවත් ඒ දේ කරදරයක් කියලා මං හිතන්නෙ නෑ... ඒත් සුදූ අපි ඇත්තට මූණ දෙන්න ඕනේ.... ඔයා එක්ක දුක සැප බෙදා ගන්න ඔයාගෙම කෙනෙක් ඉන්න ඕනේ... අර අම්මා කිවුවා වගේ අන්තිම මොහොතෙ වතුර උගුරක් දෙන්න කෙනෙක් ඉන්නම ඕනේ...."

අයියා කියන දේ මට නොතේරෙනවා නෙවෙයි.... ඒත් මං වගේ කෙනෙක් එක්ක එහෙම ඉන්න හිතන කෙනෙක් කවදාවත් මේ ලෝකෙන් නං හොයා ගන්න වෙන්නේ නෑ....

කොල්ලෙක් කෙල්ලෙක්ව කසාද බඳින්නේ ෂෝ එකට වගේ ගෙදර ගිහිං තියා ගන්න නෙවෙයි... ඒ කොල්ලගෙ ගෙවල්වල මිනිස්සුත් බලාපොරොත්තු වෙනවා මේ ගෙනාපු ලේලිගෙන් ඒ පරම්පරාව ඉස්සරහට ගෙනියන්න පුළුවන් වෙයි කියලා...

මං එහෙම හිතන ගමන් වමතින් මගෙ කොණ්ඩෙ අවුල් කර ගත්තා... මේ කොණ්ඩෙ නං පීරලා පිළිවෙලක් කර ගන්න පුළුවන්.... ඒත් හොඳටම අවුල් වෙලා තියෙන මගෙ හිත හදා ගන්නේ කොහොමද.....

අයියගෙ සද්දයක් නෑ.... එයා බිම බලාගෙන මොනවද කල්පනා කරනවා... අක්කත් කණ්ණාඩි මේසෙ ළඟ තියෙන පොඩි ස්ටූල් එකේ වාඩි වෙලා ඔහේ බලන් ඉන්නවා....

"සුදූ..... අපි මේ හොරයක් බොරුවක් කරලා ඔයාව බන්දන්න හදනවා නෙවෙයි.... මේ හැමදේම තේරුම් ගන්න පුළුවන් කොල්ලෙක් මේ ලෝකෙ කොහෙ හරි ඇති.... අපි ටිකක් බලමු...."

"එහෙම මිනිස්සු නෑ අයියේ... අනික මට කාගෙවත් අනුකම්පාවකින් වැඩක් නෑ.... මට මේ විදිහට තනියම ඉන්න පුළුවන්...."

තවත් කට පියන් ඉන්න බැරි හින්දා මං කිවුවා.... අපි ඇත්තට මූණ දෙන්න ඕනැනේ.... ඇයි මෙයාලා ඒක තේරුම් ගන්නේ නැත්තේ....

"ස්...සුදූ.... සුදූ.... ප්ලීස් මේක අහලා ඉන්නකො.... ප්ලීස්..."

අයියා කවදාවත් මේ විදිහට මං ඉස්ස‍රහ හැසිරිලා නෑ.... ඒ මූණෙ තිබුණ අසරණ හැඟීම මාව මොහොතකට වැරදිකාරයෙක් කළා....

අයියා මගෙ අත් දෙකෙන් තද කරලා අල්ලා ගත්තා...

"සුදූ.... කිසිම ප්‍රශ්නයක් නොවෙන්න මං මේක බලා ගන්නං.... ප්ලීස් අපිට චාන්ස් එකක් දෙන්න... හැම වෙලාවෙම නෙගටිව් හිතන්න එපා.... ඔයාට මේ ලොකූව විශ්වාස නැද්ද.... එක දවසක්වත් මගෙ අතින් වරදක් වෙලා නෑ නේද සුදූ ඔයාට.... ඉතින්.... ඉතින් අඩුම ගානේ ඒ ගැන හිතලාවත් මට චාන්ස් එකක් දෙන්න..."

අයියා මේ කියන දේවල් වලට මං දෙන උත්තරේ මොකක්ද කියලා මට හිතා ගන්න බෑ... මං අක්කගේ මූණ දිහා බැලුවේ මොකක් හරි පාරක් මට එයාවත් පෙන්නයි කියලා හිතලා.... ඒත් ඒ ඇස්වල තිබුණෙත් මගෙන් එන සුබදායී උත්තරයක බලාපොරොත්තුවක්...

මං අඩුපාඩුවක් නැතුව ඉපදුණා නං අද මෙහෙම ප්‍රශ්නයක් නෑනේ.... එහෙම නං අයියා මේ විදිහට මං ළඟ අසරණ වෙන්නෙත් නෑනේ දෙයියනේ....

ඇත්ත... මේ මිනිස්සු මගෙන් මහා ලොකු දේවල් ඉල්ලලා නෑ... මං මේ වෙනකොටත් පරාජය බාර අරගෙන ඉවරයි... ඒත් අපේ ගෙදර මිනිස්සු එහෙම ඉන්න කැමති නෑ... ඉතින් ඒ අයට අවස්ථාවක් නොදී ඉන්න මට බෑ නේද.... ඒ වෙලාවෙ මට හිතුණෙ ඔහොමයි...

"හ්ම්...... ඔයාලා කැමති දෙයක් කරන්න....."

මං මගෙ හැඟීම් ටිකක් පස්සට දාලා ඒ අයගෙ අදහසට ඉඩ දුන්නා....

-------------------------------

ප්‍රොපෝසල් හොයන වැඩේට මගෙ කැමැත්ත ලැබුණ හින්දා අපේ කට්ටිය මේ ටිකේ උන්නේ හිතේ සැනසීමෙන්....

ඒ අතරෙ මං ලංකාවෙ උන්නේ නැති කාලේ වෙච්චි දේවල් ටිකෙන් ටික අක්කා මට කිවුවා.... අක්කගෙ කටින් කියවුණු සමහර දේවල් මට තාමත් විශ්වාස කර ගන්න බෑ....

බබා ලැබුණට පස්සේ, පවනි ඒ කිරිකැටියවත් දාලා
වෙන මනුස්සයෙක් එක්ක යන්න ගිහිං.... අම්මා කෙනෙක්ට තමන්ගේ කුසෙන් වදාපු දරුවව එහෙම අමතක කරලා යන්න පුළුවන්ද දෙයියනේ... මට නං හිතා ගන්නවත් බෑ....

ගිය කෙනා ගියා කියමුකො.... ඒත් සිතිජ මේ මොනවද කරලා තියෙන්නේ.... මං දැනන් උන්න, මගෙ යාළුවා වෙලා හිටපු සිතිජ නං නෙවෙයි මේ දැන් ඉන්නේ... අම්මත් නැතුව අසරණ වෙලා ඉන්න අර කිරිසප්පයව අමතක කරලා කොහෙන්දෝ කඩාපාත් වුණ ගෑණියෙක් එක්ක සම්බන්ධයක් පටන් අරන්.... අනේ මට නං තවමත් මේ දේවල් අදහා ගන්න බෑ.... මං දන්න සිතිජ කවදාවත් මෙහෙම දේවල් කරන කෙනෙක් නෙවෙයි...

අක්කා සමහර දේවල් කියද්දී මට හිතුණා, විශාකා ආන්ටි මගෙන් හංගන්න උත්සාහ කළේ මේ ප්‍රශ්න වෙන්න ඇති කියලා... මං දැනට දවස් තුන හතරක්ම සිතිජගෙ ගෙදර ගියා... ඒත් මට ඒ කිසිම දවසක සිතිජව මුණ ගැහුණේ නෑ... අක්කා නං කිවුවේ දැන් එයා ඉන්නේ අර ගෑණු කෙනා එක්ක කියලා... මේ මිනිස්සුන්ට මොනවද අනේ මේ වෙලා තියෙන්නේ...

කල්පනාවෙන් කල්පනාවෙන් දන්නෙම නැතුව මං සිතිජගෙ ගේ ළඟටම ඇවිත් තිබුණා... මං ආයෙම මෙහෙ එන්න හිතුවෙ පොඩි එකාගෙ මූණ බලන්න ආස හිතුණ හින්දා... ඉපදුණ දවසෙ ඉඳලා අම්මා තාත්තා දෙන්නම නැතුව හැදෙන ඒ නොදරුවා ගැන මගෙ හිතේ ඇති වෙලා තිබුණේ මහා අනුකම්පාවක්.... කවදාහරි දවසක ඒ ළමයා ලොකු වෙලා සමාජෙට මූණ දෙන්නේ කොහොමද... මිනිස්සු මොන තරම් දේවල් කියයිද...

ඒ දේවල් මතක් කරද්දී පොඩි එකා එක්ක කිසිම සම්බන්ධයක් නැති මගෙ පපුව රිදෙන්නෙ ඇයිද මංදා....

මං එනකොට මිදුලේ රතුපාට කාර් එකක් නවත්තල තිබුණා... ගෙදරට කවුරුහරි ඇවිත් වගේ..... වැරදි වෙලාවකද මංදා මං ඇවිත් තියෙන්නේ.... කමන් නෑ ආපු එකේ පොඩ්ඩාව බලලා යනවා කියලා මං හිතා ගත්තා....

ගෙයි දොර ඇරලා.... වටපිට බලලා බෙල් එක ගහන්න යද්දී එක පාරටම ගේ ඇතුළෙන් කතා බහ කරන සද්දයක් ආවා...

"මේ කිරිසප්පය ගැන ටිකක් හිතපන් සිතිජ...."

ඒ ඇහුණේ විශාකා ආන්ටිගෙ කටහඬ... සිතිජ ගෙදර ඇවිත්ද....

"උඹලාගෙ වැරදි වලට මේ අහිංසකයා පලි නෑ.... කොල්ල ඉපදුණ ගමන්, අම්මා වෙන මිනිහෙක් එක්ක පැනලා ගියා... දැන් උඹත් සක්කරවට්ටමක් කරේ එල්ලගෙන දඟලනවා.... "

විශාකා ආන්ටි අඬ අඬා කියවනවා...

"උඹලා කසාද බැන්දෙවත්, ළමයි හැදුවෙවත් අපේ උවමනාවට නෙවෙයිනේ... ඉතින් එහෙනම් දැන් මොකද මේ ළමයව බලා ගන්න අපිට දාලා යන්නේ...."

මං ඇවිත් තියෙන්නේ ගොඩක් වැරදි වෙලාවක... මේ අය තමන්ගෙ ප්‍රශ්න විසඳ ගනිද්දී මං මැද්දට පනින එක හොඳ නෑ....

පොඩ්ඩගෙ මූණ බලන්නෙ නැතුව ආපහු යන්න හිත දෙන්නේ නෑ තමයි... ඒත් මේ ඒකට වෙලාව නෙවෙයි... මං සද්ද නොකර ආපහු එන්න හැරුණා...

"හොයා ගන්නවා නං හොයා ගනින් මේ ළමයට අම්මා කෙනෙක් වෙන්න පුළුවන් ගෑණියෙක්.... උඹ ඔය හොයාගෙන තියෙන අම්මණ්ඩි නං කොහොමත් අනුන්ගෙ ළමයි බලන්නේ නෑ පුතේ.... අනික අර පවනිව බඳින්න ඕනේ කියලා මැරෙන්න හදද්දී අපි කට කැඩෙනකං කිවුවා එපා කියලා... කෝ උඹ ඇහුවද... අන්තිමට ඒකි පැනලා ගියා... දැනුත් මං කියන්නේ ඒකමයි... ඔය ගෑණිගෙන් ඈත් වෙලා ඉඳපන්... නැත්තන් මේ පාර උඹේ ජීවිතෙත් නැති වෙයි... "

අනේ මංදා.... ආන්ටි මෙච්චර කෑ ගහද්දී සිතිජගෙන් කිසිම උත්තරයක් නෑ... ඒ අතරෙ අර පොඩි එකා අඬන සද්දෙ මට හුඟක් ළඟින් ඇහුණා.... යන්න ලෑස්ති වුණ මගේ ගමන එහෙමම නැවතුණා....

කට්ටියත් එක්ක එකතුවෙලා රණ්ඩු වෙවී ඉන්නව මිසක් ළමයව නළව ගන්න පාටක් නෑ.... මට බලන් ඉන්නත් බෑ... ඕනේ දෙයක් වෙන්න කියලා හිතාගෙන මං ගේ ඇතුළට යන්න හැදුවා....

"අර ෂෙනොලි ළමයාව පොඩි කාලේ ඉඳලා දැනන් උන්නේ.... උඹට තිබුණා ඒ කෙල්ල ගැන හිතන්න..."

ගේ ඇතුළෙන් මගෙ නම ඇහෙද්දී ඉස්සරහට තිබ්බ කකුල මං පස්සට ගත්තා....

"අපි කොච්චර නං ඇහුවද ඒ මිනිස්සුන්ගෙන් අහලා බලලා මේක කරලා දෙන්න... කොහෙද... උඹ ඒ වෙලාවෙ අර පවනිව ඔළුව උඩ තියන් උන්නානේ....."

"විශාකා.... දැන් ඔය පරණ කතා වැඩක් නෑ... "

අංකල් ආන්ටිගෙ කතාව නවත්තන්න ට්‍රයි කරනවා....

මං මේ වෙනකං හිතන් හිටියේ ආන්ටිලා පවනිට හුඟාක් කැමැත්තෙන් උන්නා කියලයි.... මට සිතිජ කියලා තිබ්බෙත් ඒ විදිහටනේ.... දැන් නං මේ දේවල් මට පිස්සුවක් වගේ...

"කරන්න පුළුවන් දෙයක් ගැන කතා කරනවා මිසක් පරණ දේවල් කියෙවුවා කියලා වැඩක් නෑ විශාකා...."

"මං ඒක දන්නවා... ඒ හින්දයි මං මේ කරන්න පුළුවන් දෙයක් ගැන කියන්න හදන්නේ...."

එකපාරටම ගේ ඇතුළෙන් ආපු සද්ද ඔක්කොම නැවතුණා... පොඩි එකා අඬන එකත් නවත්තලා තිබුණා....

"අර ෂෙනොලි ළමයා ආයෙ ලංකාවට ඇවිත් ඉන්නවා.... දැන්වත් ටිකක් මේ ගැන කල්පනා කරලා බලපන් සිතිජ.... උඹ කොහොමත් කරන්නේ උඹට ඕනේ දේවල්නේ... ඒකට අපිට කමක් නෑ.... මේ ළමයට හරිහමන් අම්මා කෙනෙක් හොයා ගනින්... ටිකක් හිතලා බලපන් ෂෙනෝලි ගැන.... උඹට ඒ කෙල්ලට ගැන හිතන්න බැරි වුණාට කමක් නෑ.... උඹේ මේ ළමයා ගැන හිතපන්...."

ඒ වචන මගෙ මුළු ඇඟම සීතල කළා.... කකුල් දෙක පණ නැති වේගෙන වගේ යනවා තේරුණ හින්දා මං එතනම තිබුණ බිත්තියට හේත්තු වුණා...

"මොනවද දෙයියනේ මේ මට ඇහෙන්නෙ......?"

මට කිසිම දෙයක් හිතා ගන්න බැරි වුණා... හැමෝටම ඕනේ තමන්ගෙ ප්‍රශ්න විසඳ ගන්න... ඒකට බිල්ලට ගන්න හදන්නේ මාව....

මගෙ ඇස්වලට කඳුළු පිරුණේ හිතා ගන්නවත් බැරි ඉක්මනට... ඒ අතරෙ ගේ ඇතුළෙ ඉඳලා කවුරු හරි එළියට එන අඩි සද්දයක් මට ඇහුණා...

ඇවිද ගන්න පණක් නැති වුණත් අමාරුවෙන් බිත්තිය අල්ලගෙන ගිහිං මං කණුවකට මුවා වුණා.... මොකද කිසිම කෙනෙක් මාව මේ වෙලාවෙ දකිනවට මං කැමති වුණේ නෑ....

වේගෙන් අඩිය තිබ්බ ඒ කෙනා වෙන කවුරුවත් නෙවෙයි.... ඒ සිතිජ.... මගෙ හුස්මත් නැවතුණා... මං මේ සිතිජව දකින්නේ අවුරුදු ගානකින්.... අඳුන ගන්නත් බැරි තරමට එයා වෙනස් වෙලා....

මං කණුවට මුවා වෙලා එයා දිහා බලන් උන්නා... ඒ මුණේ ඉස්සර තිබුණ, මං දැක්ක ලස්සන දැන් නෑ... ඒ දිග ඇස් තරහින් රතු වෙලා...

මං එහෙම බලන් ඉද්දී සිතිජ කාර් එකට නැගලා වේගෙන් යන්න ගියා....

ගේ ඇතුළෙන් විශාකා ආන්ටි අඬන සද්දෙ මට ඇහුණා.... අංකල් හෙමින් සැරේ මොන මොනවදෝ කියනවා... ඒත් ඒ දේවල් මට පැහැදිලි වුණේ නෑ...

පුංචි කාලේ ඉඳලා අපිට ආදරේ කරන, අපිත් එක්ක එකටම වගේ උන්න මිනිස්සුන්ට මේ තරම් පටු විදිහට හිතන්න පුළුවන්ද දෙයියනේ.... මං දන්නවා අපේ අම්මා නං කවදාවත් මේ වගේ දෙයක් හීනෙන්වත් කියන්නෙ නෑ..... විශාකා ආන්ටිට මං හැමදාම මං සැලකුවේ අපේ අම්මාට වගේමයි... ඒත් දැන් ටිකකට කලින් කියපු දේවල් මතක් වෙද්දී ඒ හැඟීම ක්ෂනිකව නැති වෙලා ගියා....

මිනිස්සු ගැන ඇති වුණ මහා කලකිරීමකින් මං එහෙන් පිටත් වුණා... මං පොඩි එකාගෙ මූණ බලන්න හිතාගෙන ගියත් පස්සේ ඒ අදහස මං වෙනස් කර ගත්තා... පොඩ්ඩා පව් තමයි... ඒත් මං ආයෙ මෙහෙ එන්න ඕනේ නෑ.... ඔව්... මේ තීරණේ මං ආයෙ වෙනස් කරන්නේ නෑ.... අමාරුවෙන් හරි ඒක කරනවා....

################
Photo

Post has attachment
දවසක් ඒවිද...

දහතුන්වන කොටස


"ගෙවල් දොරවල් අතැරලා යන්න තරමේ දෙයක් අම්මා කිව්වේ නෑනේ.... ඒ හින්දා දැන් ඔය කතාව නවත්න ගන්නවා...."

අයියා එහෙම කිව්වාට, කියන්න තියෙන දේවල් නොකියා ඉන්න මගේ මුරණ්ඩු හිත ඉඩ දුන්නේ නෑ...

"මගේ අකමැත්තෙන් කරන්න යන මේ දේවල් දකිනකොට මට නං හිතෙන්නේ ඒ විදිහට තමයි ලොකු.... අනේ මං වැඳලා කියන්නං මට මගුල් හොයන්න එපා... ප්ලීස්...."

අනික් කෙල්ලො වගේ ලස්සන වෙඩින් එකක් අරගෙන හොඳ මහත්තයෙකුත් එක්ක එක වහලක් යටට වෙන්න ආසාවක් මටත් තිබුණා... හැබැයි ඒ ගොඩ කාලෙකට ඉස්සර.... දැන් එහෙම ආසාවක් නෑ... ඒ් හැමදෙයක්ම සුනාමියක් ඇවිත් වගේ හෝදගෙන ගියා...

"මට කාවවත් බඳින්න ඕනේ නෑ ලොකූ... ප්ලීස් මට මෙහෙම ඔයාලා එක්ක ඉන්න දෙන්න... "

මං අයියාගේ අතේ එල්ලිලා කිව්වා....

"මං මේ හැම ප්‍රශ්නයක්ම විසඳන්නං සුදූ.... ඇත්ත තේරුම් ගන්න පුළුවන් මිනිස්සු ඕනේ තරම් ඉන්නවා සුදූ... දැන් කොල්ලෝ ඒ තරම් පටු විදිහට හිතන්නේ නෑ.... අපි මේ දේවල් කතා කරලා විසඳගමු...."

මං මෙච්චර තේරුම් කරද්දිත් අයියා තමන්ගේ මතේ වෙනස් නොකරන එක ගැන ලොකු කේන්තියක් මගේ හිතට ආවා....

"මොනවද ලොකූ කතා කරන්නේ.... ආහ්.... මොනවද තව කතා කරන්න ඉතුරු වෙලා තියෙන්නේ..."

එක පාරටම මගේ සද්දේ වැඩි වෙද්දී අම්මයි අක්කයි ගැස්සුණා....

"කතා කරලා කියන්න හදන්නේ ඔයාලගේ සුදූ.... වඳ ගෑණියෙක් කියලද ලොකූ.... ඒකද කියන්න හද....."

කියන්න හදපු දේ කියලා ඉවර කර ගන්න මට බැරි වුණා....

"ලොකූ....."

"අශේන්...."

අම්මයි අක්කයි කෑගහගෙන ඉඳන් උන්න පුටුවලින් නැගිට්ටා....

ටික වෙලාවක් යනකං මට මොකක්ද වුණේ කියලා හිතා ගන්න බැරුව ගියා.... කම්මුලේ පැත්තක් පුපුරු ගහනවා..... එතකොටයි මට තේරුණේ වුණේ මොකක්ද කියලා.... අම්මා දුවලා ගිහිං අයියාගේ අතේ එල්ලදේදී අක්කා ඇවිත් මාව අල්ලා ගත්තා.....

"ඔයාට මොකක්ද අශේන් වෙලා තියෙන්නේ.... පිස්සු හැදිලද...."

මෙච්චර කාලෙකට අක්කා ඔය තරං සැරෙන් අයියට කතා කරනවා මං දැක්කාමයි....

"මේ කෙල්ලව මරා ගන්නද හදන්නේ..... ගහ බැනගෙන ප්‍රශ්න විසඳන්න පුළුවන්ද... පොඩි එකෙක් වගේ හැසිරෙන්න එපා...."

"දැන් මගේද වරද..... ඔක්කොම දේවල් කරලා තියෙන්නේ මමද...."

අම්මාගේ අතත් පැත්තකට කරලා අයියා කෑගහනවා.... අක්කා මාව එයාගේ පැත්තට හරවා ගෙන කම්මුල අත ගෑවා....

"මට ගහලා ඇත්ත වහන්න පුළුවන් නං.... තව ගහන්න ලොකූ.... තව ගහන්න..... මාව මැරෙනකං හරි ගහන්න...."

මං කෑගැහුවේ දුකට.... අපි පුංචි කාලේ ඉඳලා ඕනේ තරම් රණ්ඩු වෙලා තියෙනවා.... ඒත් අයියා කවදාවත් මට අතක් උස්සලා නෑ.... කම්මුලෙන් ආව වේදනාවට වැඩියෙන්, අන්න ඒ දේ මගේ හිත රිද්දුවා.....

"දෙන්නම නවත්ත ගන්නවල ඕක.... උඹලට ඕනේ මෙහෙම කරලා මාව මරා ගන්නද... රටේ ලෝකේ මිනිස්සු හිනස්සන්නේ නැතුව දෙන්නම යනවලා ගේ ඇතුළට.... අමා.... මෙයාව කාමරේට එක්කං යන්න....."

අම්මා අඬ අඬා එහෙම කිව්වේ අයියාව පෙන්නලා.....

කට්ටියටම ඕනේ දෙයක් කර ගන්න කියලා මාත් මගේ කාමරේට දිව්වා..... අඩියට දෙකට පඩිපෙළ නැග්ග මං කාමරේට වෙලා දොර ලොක් කර ගත්තා....

"මට සමාවෙන්න අම්මේ.... ලොකූ... ඔයාට එහෙම කතා කරන්න මට ඕනේ වුණේ නෑ.... ඒත් දෙයියනේ මං මේ කියන දේ ඇයි ඔයාලා තේරුම් ගන්නේ නැත්තේ...."

ඇඳට වැටුණ මං තනියම කියව කියව අඬන්න පටන් ගත්තා.....

මේ දේවල් අද ඊයේ දැන ගත්ත දේවල් නෙවෙයි.... මං ලංකාවෙන් යන්න මේකත් එක හේතුවක් වුණා... එ්ක අපේ ගෙදර මිනිස්සු විතරක් දන්න රහසක්.... අඩුම ගානේ මගේ යාළුවා වුණ සෂීවත් මේ ගැන දන්නේ නෑ.... සිතිජගේ ආදරේ මට අයිති නෑ කියලා දැන ගෙන අසරණ වෙලා උන්න මං, මේ ආරංචිය දැන ගත්තාම කබලෙන් ලිපට වැටුණා වගේ වුණා....

දැන් මට ආදරේ කරන්න අයිතියක් නෑ, කසාද බඳින්න අයිතියක් නෑ, දරු පැටියෙක්ගේ හුරතල් බලන්න අයිතියක් නෑ, කෙටියෙන්ම කියනවා නං ලස්සන පුංචි පවුලක් හදා ගන්න අයිතියක් මට නෑ.... කලින් නං මං ඇති වෙන්න දුක් වුණා.... මටම සාප කර ගත්තා.... ඒත් මං දැන් ඇත්ත තේරුම් අරන් ඉන්නේ.... නොලැබෙන දේවල් වෙනුවෙන් අඬලා වැඩක් නෑ.... පහුගිය ආත්මෙක කරපු මොකක් හරි පවක් හින්දා අද මට දුක් විඳින්න වෙලා ඇති....මගේ ලැබීම මෙච්චරයි...

මගේ හිත හදා ගන්න ඕනේ හින්දම විතරක් නෙවෙයි, අම්මලාගේ බලේට ට්‍රීට්මන්ස් වලටත් එක්කමයි මං නිව්සීලන්ඩ් ගියේ... අවුරුදු හතරක් තිස්සේ තාමත් මං බෙහෙත් බොනවා... ඒ අම්මලාගේ හිත රිද්දන්න බැරි හින්දා.... ඒත් තාම කිසිම වෙනසක් නෑ.... හැම කෙනෙක්ම කියන්නේ බලාපොරොත්තු නැති කර ගන්න එපා කියලා.... මං දන්නවා ඒ දේවල් කියන්නේ මගේ හිත හදන්න බව.....

කිසිම කොල්ලෙක් කැමති වෙන්නේ නෑ මං වගේ කෙනෙක්ව කසාද බඳින්න.... ඉතින් බොරුවට මහන්සි වෙන්නේ ඇයි.... අන්තිමට අම්මලාත් මේ දේවල්වලින් ලැජ්ජා වෙනවා... අනිත් දේ.... මට කාගෙවත් අනුකම්පාවක් ඕනේ නෑ...

මට තනියම ජීවත් වෙන්න පුළුවන්... මෙහෙ ඒක කරන්න බැරි නං.... එහෙම නං මං ආයේ නිව්සීලන්ඩ් යනවා.... නැන්දා ළඟට...

ඒ සිතුවිල්ලත් එක්කම මගේ කාමරේ දොරට තට්ටු කරනවා මට ඇහුණා...

####################
Photo

Post has attachment
දවසක් ඒවිද.....

දාහතරවන කොටස


මේ වෙලාවේ කිසිම කෙනෙක් එකක් කතා කරන්න තරම් මූඩ් එකක් නොතිබුණ හින්දා දොරට තට්ටු කරනවා ඇහිලත් මං ගියේ නෑ.... මම ආයෙම මූණ කොට්ටෙ ඔබා ගත්තා....

මං දන්නවා ඒ වෙලාවේ මං කලබල වුණා වැඩී.... හැමදාම මං ඔහොමයි.... ඒත් මං ඒ වෙලාවේ එහෙම කතා නොකළ නං අම්මලා මේ දේවල් තේරුම් ගන්නේ නෑ.... අන්තිමේ හැමෝටම දුක් විඳින්න වෙනවා....

මං වගේම මේ අයත් හිත හදාගෙන ඇති කියලයි මං හිතුවේ.... ඒත් එහෙම වෙලා නෑ.... අම්මලා එයාලගේ මතේ වෙනස් කරන්න අකමැති නං මට කරන්න තියෙන්නේ එකම එක දෙයක් විතරයි.... ඒ... එයාලගේ කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි මට ආයෙම නිව්සීලන්ඩ් යන්න වෙනවා....

මහ රෑ වෙනකං හිතලා හිතලා මං අන්තිමට ඒ තීරණේට ආවා.... මං ආයෙම නොඑන්න ගියා කියලා දැන ගත්තාම ඒ අය හිත හදා ගනියි.... මට වෙන කරන්න දෙයක් නෑ... මගේ හිත දැන් අමුතුවෙන් හැදෙන්නත් දෙයක් නෑ... මං මහන්සි වෙලා ඒ හිත හදා ගත්තා.... ඒත් කිසිම දුකක් වේදනාවක් දැනෙන්නේ නෑ කිව්වොත් ඒක තමයි මේ ලෝකේ තියෙන ලොකු බොරුව... නිව්සීලන්ඩ්වල ඉද්දී තනියම මං මොන තරම් අඬලා තියෙනවද.... අර කතාවට කියනවා වගේ මං අඬපු තරම දන්නේ මගේ කොට්ටේ විතරයි.... ඒ වෙලාවේ මට කරන්න වෙන දෙයක් තිබුණේ නෑ...

ආයෙම මගේ කාමරේ දොරට කවුරු හරි තට්ටු කරනවා... මං ඔළුව උස්සා වෙලාව බැලුවා.... පාන්දර එකටත් ළඟයි.... අම්මා වෙන්න ඇති.... ටිකක් වෙලා කල්පනා කරපු මං ගිහිං දොරේ අගුල විතරක් ඇරලා ආවා.... ඒ ඇවිත් ආයෙම කොට්ටේ මූණ ඔබා ගත්තා....

දොර ඇරෙන සද්දේ ඇහුණා.... කාමරේ ලයිට් එක දානවත් මට තේරුණා..... ඊළඟට අම්මා ඇඳ ළඟට එන අඩි සද්දෙ මට ඇහුණා... ඒත් මං බැලුවේ නෑ.... කතා කරන්න තරම් හොඳ මානසිකත්වයක් දැන් මට නෑ...

අම්මා මගේ ඇඳේ පැත්තකින් ඉඳ ගත්තා.... කිසිම සද්දයක් නෑ.... මං ඔළුව උස්සන්න කියලා හිතුවා විතරයි....

"සුදූ........"

මාව ගැස්සිලා ගියා.... ඒ... අම්මා නෙවෙයි....

"ලොකූ......."

මං නැගිටලා ඇඳෙන් ඉඳ ගත්තා..... අපේ අයියා මේ වෙලාවේ මෙතන ඉඳී කියලා මං නිකමටවත් හිතුවේ නෑ....

අයියා වෙන එක වචනයක්වත් නොකියා අතේ තිබිලා මොකක්ද ගත්තා.... ඒ මොකක්ද ක්‍රීම් එකක්.... ඒකේ පියන ඇරපු අයියා එහාගේ අල්ලට ක්‍රීම් ටිකක් ගත්තා.... ඊට පස්සේ මගේ මූණ අනිත් අතින් ටිකක් හරවලා අර ක්‍රීම් එක් හෙමින් සැරේ ගෑවා... කොහෙදෝ ඉඳලා ආපු දුකකින් මගේ හිත පිරිලා යද්දී මටත් නොදැනිම ඉකි ගැහුණා.... නවත්ත ගන්න බැරි තරමට කඳුළු මගේ ඇස්වලින් ගලන්න ගත්තා.... මං ඇස් දෙක තද කරලා වහගෙන කඳුළු නවත්ත ගන්න උත්සහා කළා....

ඒ අතරේ අයියා මගේ කම්මුලේ තඩිස්සි වෙලා තිබුණ තැන පරිස්සමට ක්‍රීම් ගෑවා....

මං අර විදිහට කතා කරලත් අයියා මට මෙහෙම සලකන එක මට දරා ගන්න බැරි වුණා...

"සු.....දූ......"

අයියා උගුරෙන් වගේ කතා කළා.... තවත් ඇස් දෙක වහන් ඉන්න තරම් හයියක් නැති හින්දා මං ඇස් දෙක ඇර ගත්තා.... කඳුළු අතින් බොඳ වෙලා අයියාගේ මූණ පෙනෙද්දී මට මං ගැන තරහක් ඇති වුණා කිව්වොත් හරියටම හරි...

"තාමත් රිදෙනවද....තව ටිකකින් හරියයි... දැ..න් නි....දා ග...න්..න...."

අයියා ඒ ටික කියා ගත්තේ බොහොම අමාරුවෙන් කියලා ඕනෙම කෙනෙක්ට තේරෙනවා....

"ල්....ලො...කූ...."

මගේ ඔළුව අතගාලා කාමරෙන් යන්න හදපු අයියාගේ ගමන නැවතුණා.... කියන්න හිතාගෙන ආවා කිසිම දෙයක් කියලා නෙවෙයි එයා මේ යන්න හදන්නේ.... ඒක මට තේරුණා... ඒ වගේම කියන්න කියලා ගොඩක් දේවල් මගේ හිතෙත් තියෙනවා.... මං කතා කරපු විදිහට එයාගෙන් සමාව ගන්නත් ඕනේ.... නැත්තං මට කිසිම සැනසීමක් ලැබෙන එකක් නෑ.....

"අඬන්නේ නැතුව දැන් නිදා ගන්න සුදූ.... හැමදේම පස්සේ කතා කරමු....."

ඒත් ඒකෙන් එයාටවත් මටවත් සැනසීමක් ලැබෙන්නේ නෑ... ඒ හින්දා මං අයියාට යන්න නොදී එයාගේ අත තද කරලා අල්ලා ගත්තා....

"හ්ම්..... නින්ද යන්නේ නෑ නේද.... මොකද කරන්නේ.... මං නින්ද යනක්ං ඹළුව අත ගාන්නද..... අර ඉස්සර ඔයා අසනීප වුණ වෙලාවට කරනවා වගේ.... ආහ්...."

අයියට ඒ දේවල් තාමත් මතකයි.... පොඩි කාලේ මං අසනීප වුණාම අම්මා මගේ ළඟට වෙලා ඔළුව අතගානවා..... මොන තරම් ලොකු නින්දක උන්නත් අත ගත්ත ගමන් මං ඇහැරෙනවා.... ඉතින් අම්මට ගෙදර වැඩක් කර ගන්න විදිහක් නෑනේ... පස්සේ අයියාට තේරෙන කාලයක් වෙනකොට එයා ඒ වැඩේ බාර ගත්තා... ඒත් මට හොරෙන්... මගේ ඇස් දෙක යන්තං පියවෙනකොට අම්මා මාව අයියට බාර දීලා යනවා....

පරණ මතකයන් මගේ හිත තව තවත් රිද්දුවා.... මං අඬනවා බලන් ඉන්න බැරි හින්දද කොහෙද අයියා මාව එයාගේ පපුවට තුරුල් කර ගත්තා....

"දැන් ඔය මදැයි..... අඬන එක නවත්ත ගන්න සුදූ.... ඔයා මෙහෙම අඬන කෙනෙක් නෙවෙයිනේ..... සමහර වෙලාවට අපි දුකෙන් ඉද්දී ඔයායි අපේ හිත් හදන්නේ.... ඉතින් දැන් මේ මොකද....ආහ්.... හොඳ සුදූ වගේ අඬන්නේ නැතුව ඉන්න...."

මගේ ඇඬුම් නවත්ත ගන්න මට හුඟක් වෙලා ගියා.... ඒ අතරේ අයියා මගේ හිත හැදෙන්න ගොඩක් දේවල් කිව්වා....

"තාම කම්මුල රිදෙනවාද....?"

මං නෑ කියන්න ඔළුව වැණුවා....

"කල්පනා කරලා බලද්දී එයා කියන දේ හරි සුදූ.... ඔයාගේ පැත්තෙන් ඔයා සාධාරණයි.... අම්මාගේ පැත්තෙන් එයා සාධාරණයි.... ඕනෙම අම්මා කෙනෙක් කැමතී තමන්ගේ දුවව ලස්සන මනමාලියෙක් කරලා ගෙදරින් පිට කරන්න.... ඒ තියරිය අපේ අම්මාගෙන් විතරක් වෙනස් වෙන්නේ නෑනේ සුදූ.... කොල්ලෙක්ගේ කසාදෙකට වඩා වැඩියෙන් අම්මා කෙනෙක් හිතන්නේ තමන්ගේ දුවගේ කසාදේ ගැන...."

අයියා කියන දේවල් වලට බාධා නොකරන මං හැමදේම අහගෙන උන්නා....

"අම්මා මගේ කසාදෙට කලිනුයි ඔයාගේ කසාදෙ ගැන හිතුවේ...."

එහෙම කියද්දි මං ඇස් දෙක උස්සලා අයියා දිහා බැලුවා....

"හ්ම්.... බොරු නං අමාගෙන් අහන්න.... අමාත් ඒ දේවල් දන්නවා.... මොන තරම් අඩුපාඩු තිබුණත් අම්මා කෙනෙක් හිතන්නේ තමන්ගේ දරුවන්ගේ සතුට ගැන... ඔයා දන්නවා සුදූ මේ ප්‍රශ්නේ ගැන දැන ගත්තා දා ඉඳලා අම්මා මොන තරම් හිතින් වැටුණද කියලා.... මං හිතන්නේ මේ වෙනකොට එයා නොගිය පන්සලක් ලංකාවේ නෑ.... අතන හොඳයි... මෙතන හොඳයි කියලා මිනිස්සු කියනකොට පහුවදාම එහෙ දුවනවා....."

අයියා කතාව නවත්තලා මොනවදෝ කල්ලපනා කළා.....

"පන්සල් විතරක් නෙවෙයි සුදූ.... පල්ලි, කෝවිල්, දේවාල මේ කිසිම තැනක් මඟ අරින්නේ නෑ... නැන්දා එහෙ හොඳ ඩොක්ටර්ස්ලා ඉන්නවා කියලා කියද්දී, ඔයාව නොදැක ඉන්න බැරි වුණත් අවුරුදු හතරකට රට ඇරියා.... එක පාරක්වත් ලංකාවට එන්න කියලා අපි ඔයාට බල කළේ නෑ... ඒ ඔයත් ඔයාගේ හිත ටිකක් හදා ගන්න ඕනේ හින්දා...."

අයියාගේ කතාව මගේ කාමරේ පාළු බින්දා.... ඒ හැම වචනයක්ම මගේ කාමරේ පුරාම විසිරලා ගියා.... ඉතින් මේ කිසිම දෙයක් මට ආයේ අමතක වෙන එකක් නෑ... හැමදාමත් ඒ දේවල් මාත් එක්කම ඉඳී....

"අයිම් සොරි ලොකූ....."

හුඟ වෙලාවක ඉඳලා කියන්න හිතන් උන්න දෙයක් මං කියා ගත්තා....

"සමාව ඉල්ලන් ඕනේ නෑ සුදූ.... ඔයාගේ වරදක් නෑ මෙතන...."

අයියා මගේ ඔළුව අතගෑවේ හරි ආදරෙන්.... ඒ ආදරේ මට අඩුවක් නැතුව දැනුණා....

"මගේ එකම නංගිට අඩුපාඩුවක් තියෙනවා කියලා හිතන්න මං කැමති නෑ...."

අයියා මූණ පැත්තකට හරවලා මට නොපෙනෙන්න ඇස් දෙක පොඩි කර ගත්තා....

"එක දෙයක් සුදූ...... ඔයා මේ විදිහට ගෙදරටම නාකි වුණත් මං ඔයාව අර සිතිජ කියන බ... අන්න ඌට නං දෙන්නේ නෑ..... ඒක හොඳට මතක් තියා ගන්න.... මේ දුක විඳින එක සැපයි ඌ එක්ක ගිහිං මැරී මැරී විඳවනවට වැඩිය...."

අයියා ඇයි එක පාරටම සිතිජ ගැන කතා කරන්නේ.... අනික මේ විදහට....

"ඔය තරම් ඇස් දෙක ලොකු කරගෙන මං දිහා බලන් ඉන්න එපා.... මං හැමදේම දන්නවා...."

ඒ කියන්නේ මං සිතිජගේ ගෙදර යන එන එක ගැන අයියා හැමදේම දන්නවද.... ඒත් ඒ කොහොමද.... අක්කාවත්...... නෑ.... නෑ... අක්කා එහෙම පොරොන්දු කඩන කෙනෙක් නෙවෙයි....

"ඔව් මේ ලොකූ කටවහන් උන්නට හැමදේම දන්නවා..... කවද්ද ඉස්සෙල්ලම එහෙ ගියේ.... කොච්චර වෙලා උන්නද.... අන්තිමට ගියේ කවද්ද... කාවද මීට් වුණේ.... කාවද මීට් වුණේ නැත්තේ.... මේ හැමදේම මං දන්නවා...."

මගේ පපුව අසාමාන්‍ය විදිහට ගැහෙන්න ගත්තා.... මේ හැමදේම දැන ගෙනත් ඇයි අයියා මගෙන් කිසිම දෙයක් ඇහුවේ නැත්තේ.... ඒක තමයි මට තිබුණ ලොකු ප්‍රශ්නේ....

"මං දන්නවා මුලින්ම එහෙ ගියේ සිතිජව බලන්න කියලා.... ඒත් මට මගේ නංගි ගැන විශ්වාසයක් තිබුණා... හැබැයි දෙවෙනි තුන්වෙනි පාර ඔයා එහෙ ගියේ වෙන දේකට.... ඒ සිතිජගේ පොඩි එකාව බලන්න....."

අයියා කොහොමද මේ විදිහට හැමදේම හරියට කියන්නේ....

"මං එහෙ යන්න එපා කියන්නේ නෑ..... ඒත්.... ඔයා නැති කාලෙට මෙහෙ හුඟක් දේවල් වෙනස් වුණා.... පස්සේ වෙලාවක අක්කාගෙන් ඒ දේවල් ගැන අහගන්න.... එයා තාම දන්නෙත් නෑ මගෙන් හැංගුවට මං මේ දේවල් දන්නවා කියලා...."

අයියාගේ මුණ හීනිට හිනාවක් ඇඳුණා.... ඒකෙන් මට තේරුණේ එයා අපි හැමෝටම වඩා ඉස්සරහින් ඉන්නවා කියලයි...

ඒත් එක්කම අයියා කාමරේ දොර දිහා බැලුවා.... මාත් එ් එකක්ම බැලුවා.... ඒත් කිසිම වෙනසක් පෙනුණේ නෑ....

"අමා.... එන්න ඇතුළට...."

අක්කා කොහෙද මෙතෙන.... මං ආයෙම අයියා දිහා බැලුවා..... එයා අර මගේ මූණේ ගෑවා ක්‍රීම් එක දිහා බලාගෙන ඉන්නවා.....

එක පාරටම දොර දිහාවෙන් හෙවනැල්ලක් ඇදුණා....

"අක්කා......"

අයියා කොහොමද හරියටම අක්කා එතන ඉන්නවා කියලා දැන ගත්තේ...

ඒ අතරේ අක්කා බිම බලාගෙන හෙමින් සැරේ කාමරේට ඇතුළ් වුණා.... මට ඒක දැක්කම එකපාරට මතක් වුණේ වැරැද්දක් කරලා ටීචර්ට අහු වුණ පොඩි එකෙක්.....

"මේ... මං... මේ... මට බය හිතුණා ඔයා නංගි එක්ක රණ්ඩු වෙයි කියලා....ඒකයි මේ...."

අක්කා ගොත ගගහා බොහොම අමාරුවෙන් කියා ගත්තා.... ඒක් දැකලා මට හිනා යන්න ආවත් අයියා බනී කියලා බයට කට තද කරගෙන උන්නා....

"මං දන්නවා ඔයා මගේ පිටිපස්සෙන්ම ආවා කියලා....."

අයියා ඉන්නේ කේන්ති ගිහිං නැද්ද කියලා හොය ගන්න බෑ....

"අනික....... මං මගේ නංගි එක්ක රණ්ඩු වෙන්නේ නැතුව එහා ගෙදර එකී එක්ක රණ්ඩු අල්ලන්නද..."

අක්කයි මායි සද්ද නොකර බලන් ඉන්නවා ඊළඟට මොනව වෙයිද කියලා.....

"මෙච්චර වෙලා කාමරෙන් එලියේ ඉන්න වුණාට සොරි ඩාර්ලිං....."

එන්න එතකොට මෙච්චර වෙලා බිමට හැරිලා තිබුණ අක්කාගේ ඇස් දෙක මගේ දිහාවට හැරුණා.... එයාට තාම විශ්වාස කර ගන්න බෑ ඇත්තටම අයියද එහෙම කිව්වේ කියලා....

"අශේන්......"

"ඔව්.... අශේන් තමයි..... ඔයාත් ඉන්න එක හොඳයි මෙතන....."

ඊට පස්සේ අයියා ආයෙම මගේ දිහාට හැරුණා..... අන්න එතකොට මගේ හුස්ම ආයේ නැවතුණා....

#############
Photo

Post has attachment
දවසක් ඒවිද...

දොළොස්වන කොටස


"ෂෙනෝ....."

සෂී එක්ක කතාවට වැටිලා උන්න මං වගීෂගෙ පැත්තට හැරුණා...

"මොකෝ...?"

"කවුද අර ඇවිත් ඉන්න අලුත් මෑන්....?"

වගීෂ ඇස්වලින් පෙන්නුව දිහාව මාත් බැලුවා.... එතන උන්නේ අයියගෙ යාළුවා... විනෝද් අයියා...

"ආහ්.... ඒ අපේ අයියගෙ යාළුවෙක්නේ...."

මං වැඩි ගානක් නැතුව කියලා ආයෙම සෂී එක්ක කතාවට වැටුණා....

තාත්තගෙ දානෙ හිතපු විදියටත් වඩා හොඳින් කර ගන්න අපිට පුළුවන් වුණා.... ඒ ගැන අපේ ගෙදර හැමෝගෙම හිතේ තිබුණේ ලොකු සතුටක්... කිසිම අඩුපාඩුවක් නැතුව අපි දානේ වැඩ ටික කර ගත්තා... මගෙ යාළුවෝ වගේම අපේ නෑදෑයොත් අපිට ගොඩක් උදවු කළා....

"මේ... ඔයලට දැන් බඩගිනිත් ඇතිනේ... කෑම කාලා ඉමුකො..."

මං එහෙම කිවුවේ තුන්වෙනි පාරට... 'පස්සේ කමු' කිය කියා හැමෝම කන එක මඟ ඇරියා...

"මොකද බං උඹ ගල්භූත වෙලා වගේ බලන් ඉන්නේ....?"

සචිත්, වගීෂගෙන් එහෙම ඇහුවා...

"නෑ.... එහෙම මොකුත් නෑ...."

"නැති වෙන්න නං බෑ මචෝ.... උඹ මොකක්ම හරි අවුලක ඉන්නේ...."

අපි කට්ටියගෙම ඇස් වගීෂ දිහාවට හැරුණා...

"පිස්සුද බං... මට ඇති අවුලක් නෑ... අනික මං ඔය අවුල් තියා ගන්න මිනිහෙක් නෙවෙයිනේ..."

නින්දෙන් ඇහැරිලා වගේ අපි දිහා බලපු වගීෂ පුටුවේ පස්සට වෙලා ඉඳ ගත්තා...

"සුදූ....."

අයියගෙ සද්දෙට මං හැරිලා බැලුවා...

"කට්ටියත් එක්ක කෑම කාලා ඉන්න....."

අපේ අයියාත් එක්ක උන්න විනෝද් අයියයි, එයාගෙ ගෙදර අයයි අපි දිහා බලන් උන්නේ... ඒ කට්ටිය කෑම කන්නද කොහෙද හදන්නේ....

"ආ..හ්... හරි හරි ලොකූ... අපි එන්නම්... ඔයාලා යන්නකො...."

අපේ කට්ටියට දැන්ම කන්න කල්පනාවක් නැති හින්දා මං කිව්වා...


----------------------------

"එහෙනං නංගියේ අපි ගිහිං එන්නං...."

විනෝද් අයියගෙ අම්මා අපේ අම්මගෙ අතින් අල්ලගෙන එහෙම කිව්වා...

ඒ අතරෙ විනෝද් අයියයි එයාගෙ නංගී අපේ අම්මට වැන්දා....

"ආන්ටි වෙලාවක අපේ ගෙවල් පැත්තෙ ඇවිත් යන්න එන්න... දවසක් දෙකක් නැවතිලා ඉඳලා යන්න පුළුවන්නේ...."

විනෝද් අයියා එහෙම කියද්දී අම්මා හිනා වෙලා අපේ අයියා දිහා බැලුවා...

මේ යකා කිවුව පළියට අපිට ඕවයෙ යන්න පුළුවනැයි.... අයියට නිවාඩුවක් තියෙන්න ඕනැනේ මොනවා කරන්නත්... ඒක වෙන්න ඇති අම්මත් එයා දිහා බලන්න ඇත්තේ....

"වෙලාවක එන්නංකො බං.... මට ෆ්‍රී එකක් නැති එක තමා ලොකුම ප්‍රශ්නෙ...."

"අනේ පුතේ ඒ ගැන නං මොකට කියනවද.....?"

ඒ විනෝද් අයියගෙ අම්මා...

"මෙයත් ඉතින් වෙලාවක් කලාවක් තියෙන කෙනෙක් නෙවෙයිනේ... ඕනෙ වෙලවක ඇහුවොත් වැඩ... ගමනක් බිමනක් යන්න බෑ ඉතින්...."

"එහෙම තමයි අම්මේ බිස්නස් කරද්දී.... නැද්ද මචං..."

විනෝද් අයියා, අපේ අයියාගෙ පිටට තට්ටුවකුත් දාලා තමන්ගෙ අදහස ස්ථිර කර ගන්න වගේ එහෙම ඇහුවා...

"එහෙමං අපි ගිහිං එන්නං නංගී... අයියා එක්ක බදුල්ලේ ඇවිත් යන්න එන්න.... ඔයා ආස වෙයි ඒ පැත්තට...."

යන්න කාර් එකට නඟින්න ඔන්න මෙන්න තියලා විනෝද් අයියා එහෙම කියද්දී මටත් ආස හිතුණා ඒ පැත්තේ ගිහිං බලන්න... මොකද මං මේ වෙනකං බදුල්ලේ ගිහිං තිබුණේ නෑ....

"ඔයාගෙ යාළුවොත් එක්ක වුණත් කමක් නෑ එන්න... මං එහෙ හැමදේම ඇරේන්ජ් කරලා තියන්නං... මට එන දවස කලින් කියන්නකො... ඒ හොඳටම ඇති..."

මං උත්තරයක් නොදී හිනා වෙලා බිම බලා ගත්තා.. සාමාන්‍යයෙන් මං මෙහෙම හැසිරෙන්නේ නෑ තමයි... ඒත් මේ කට්ටියව මං අඳුන ගත්තෙ අදමනෙ... ඉතින් චරිතය ඝාතනය කර ගන්න හොඳ නෑනේ...

ඒ කට්ටිය යනකං ඉඳලා මං ආයෙම අපේ සෙට් එක උන්න තැනට ආවා...

"මේ ෂෙනෝ.... ඒ කොල්ලා නං මාර ගති.... පොඩ්ඩක් ට්‍රයි කරලා බලපන්කෝ....."

සෂී කිවුවොත් ඉතින් කියන්නේ ඔය වගේ මොන්ගල් කතාවක් තමයි....

"ඔව් බං.... මාත් මේ ට්‍රයි කරන්න තමා බැලුවේ... ඒත් ඉතින් ට්‍රයි කරන්න කියලා දේකුත් නෑ.... අයියට කිවුවා නං ඇති...."

මං සීරියස් මූණක් මවාගෙන කිවුවා...

සෂී මොකක් හරි දෙයක් කියන්න හැදුවා... ඒත් ඒ දේ නැවතුණේ එකපාරටම ඇහුණ සද්දයක් හින්දා...

"වගීෂයා.... මොකක්ද බං මේ උඹ කර ගත්තේ...."

කට්ටිය කෑ ගහද්දී මාත් නැගිටලා බැලුවා...

වගීෂගෙ අතින් ලේ ගලනවා....

"යකෝ ලේ ගොඩක් යනවා.... අත ඇරපන් ඕක..."

වගීෂ අතේ තිබුණ වීදුරුව අත ඇරියා... එතන දැන් වීදුරුවක් නෑ... කටු විතරයි...

මේ මෝඩයා මොනවා කරන්න ගිහිංද මංදා...

"වීදුරුව වැටෙන්න ගියා බං... ඒක අල්ල ගන්න ගිහිං තමා...."

වගීෂ පොඩි එකෙක් වගේ කියවද්දී මං දුවලා ගිහිං අයියවත් එක්කගෙන ආවා...

"මල්ලී ලේ ගොඩක් යනවා... බලන් ඉඳලා බෑ.. අපි ගිහිං බෙහෙත් දාගෙන එමු...."

අයියා කාර් එක ගන්න යද්දී අක්කා ගෙනාව පුළුන් වගයක් තියලා මං ලේ නවත්තන්න බැලුවා... ඒත් ඒක කරන්න පුළුවන් වුණේ නෑ... අතින් ලේ විදිනවා...

අයියයි තව දෙන්නෙකුයි එක්ක වගීෂව බෙහෙත් දාන්න යැව්වට පස්සේ මං එතනම තිබුණ පුටුවකට වැටුණා... මගෙ අත් දෙකෙත් ලේ... සුදු ටී ෂර්ට් එකටත් ලේ විසික් වෙලා....

ඒ අතරෙ සෂී අඬනවා...

"මොකද බං මේ.....?"

මං පුදුමෙන් ඇහුවා...

මෙයාට අඬන්න තරම් දෙයක් සිද්ධ වුණේ නෑනේ මෙතන.... මං අහපු ප්‍රශ්නෙට උත්තරයක් නොදී ඉකි ගගහා අඬනවා.... මං මදාරාගෙනුත් ඇහුවා ඇයි මේ කියලා... ඒ කෙල්ල ධනූගේ මූණ දිහා බලන් ඉඳලා ඔළුව වැනුවා....

"මොකද සෂී මේ අඬන්නේ... මොකද උනේ...."

මං සෂී ළඟට පුටුව ළං කර ගත්තා....

"න්... නෑ.... මොකුත් නෑ...."

මේකිට පිස්සුද මංදා.... කඳුළු පෙර පෙර අඬන ගමන් කියනවා මොකුත් නෑළු....

"මොකුත් නැත්තං අඬන්නේ මොන එහෙකටද මෝඩියෙ.....?"

"න්... නෑ... මේ... මට ලේ බලන්න බයයිනේ ඒකයි...."

සෂී කියපු දේ හින්දා හිතන්නත් කලින් මගෙ කටින් හිනාවක් පැන්නා.... ධනුයි, මදාරයිත් බඩ අල්ලගෙන හිනා වෙනවා... ඇත්තනේ ඉතින් මේ වගේ පිස්සු කතා වලට හිනා යනවනේ....

ඒත් එක්කම පරණ දෙයක් මතක් වෙලා මගෙ හිනාව නැවතුණා...

දවසක් කොලේජ් එකේ පඩි පෙළකින් ලිස්සලා වැටිලා ඔළුව තුවාල වුණ වෙලාවේ මාත් එක්ක හොස්පිටල් ගියේ සිතිජයි, සෂීයි... එදා මගෙ ඔළුවෙ තිබුණ තුවාලෙට මැහුම් දාද්දී සිතිජ බලන් ඉන්න බැරුව එළියට වෙලා උන්නා... ඒත් මගෙ ළඟට වෙලා මගෙ අත්කිනුත් අල්ලගෙන උන්නේ සෂී... එතකොට එදා ලේ දකිද්දී ප්‍රශ්නයක් නොවුන කෙනාට අද මේ මොකද වුණේ....

මං ඒ ගැන අහන්න හැදුවා විතරයි....

"සුදූ....."

අපේ නෑනත් ඉතින් මේ වගේ වැදගත් අවස්ථාවලදිමනේ මාව හොයන්නේ.... මොනා කරන්නද.... සෂීගෙන් ප්‍රශ්න කරන වැඩේ පැත්තකින් තියලා මං ගේ ඇතුළට ගියා....

------------------------------

"විනෝද් පුතා කසාද බඳින්නේ නෑ කියනවළු නේද ලොකූ......?"

අම්මත් විස්තරේ A to Z දැනගෙන බොරුවට අයියගෙන් අහනවා....

"හ්ම්..... එහෙම කතාවක් නං කිවුවා තමයි...."

"ඒ ළමයින්ගේ අම්මා නං ඉන්නේ ඒ ගැන හරීම හිතේ අමාරුවෙන්...."

කට්ටියත් එක්ක කෑම කලා එහෙම ඉස්තෝප්පුවට වෙලා කතාබහ කර කර උන්නේ.... පොඩ්ඩි අයියගේ ඔඩොක්කුවට වෙලා හුරතල් වෙනවා... මාත් පුටුවකට වෙලා ෆෝන් එක ඔබ ඔබා උන්නේ....

"මේ පොඩි එකී දිහා බල බලා උන්නේ හරී ආසාවෙන්...."

අපේ අම්මගෙ හිත නං ඉතින් අනුන්ගේ දුක් කරදරවලට වැඩියෙනුත් එක්ක උණු වෙනවා....

"ඒකටත් ඉතින් වෙලාව එන්න ඕනෙ අම්මේ.... අපිට හදිස්සි වුණා කියලා බෑ...."

ඒකට මොකුත් උත්තරයක් නොදුන්න අම්මා මිදුල දිහා බලාගෙන කල්පනා කළා....

"ලොකූ......"

ටික වෙලාවක් සද්ද නොකර උන්න අම්මා ආයෙම කතා කරන්න පටන් ගත්තා....

"අමා.... කෙල්ලව ඇඳෙන් තිබ්බා නං හරි....."

අයියා, අම්මගෙ කතාවට ඇහුන්කන් දෙන්න කලින් ගේ ඇතුළෙ උන්න අමා අක්කට කෑගැහුවා....

මේ මෝඩයගෙ කටේ සද්දෙට අර නිදන් ඉන්න කෙල්ලත් ඇහැරෙනවා....

"බොරුවට කෑ නොගහ කෙල්ලව මෙන්න මෙහෙට දෙනවා.... මං ගිහිං ඇඳෙන් තියන්නං...."

මං ෆෝන් එක ත්‍රී ක්වාටර් එකේ සාක්කුවට දාගෙන පුටුවෙන් නැගිට්ටා....

අයියගෙ අතින් මගෙ අතට මාරු වෙද්දී පොඩ්ඩී යාන්තමට කෙඳිරි ගෑවා... ඒත් ඇහැරුණේ නං නෑ...

මං කෙල්ලව අරන් ගිහිං ඇඳෙන් තියලා ඒ නළලට හෙමින් සැරේ ඉම්බා.... දැන් මෙහෙම සාමකාමීව නිදන් උන්නට දවල් දවසම වයින් කරලා තියලා වගේ නටනවනේ... මට පොඩි එකීගෙ දඟ වැඩ මතක් වෙලා හිනා ගියා...

ටිකක් වෙලා ඒ මූණ දිහා බලන් උන්න මං කෙල්ලගෙ ඔළුව අත ගාගෙනම ඇඳෙන් නැගිට්ටා... නින්දෙන් දඟලලා ඇඳෙන් වැටෙයි කියන බයට මං කොට්ට දෙකකුත් තියලා ආයෙම ඉස්තෝප්පුවට ආවා....

"ලොකූ.... දැන් නංගිට විසි අටක්.... තවත් මොනවා බලන්නද.....?"

ඒ අම්මගෙ සද්දේ... කතා කරන්නෙ වොලියුම් අඩු කරලා... ඒත් මේ ෂෙනෝගෙ කන්වලින් හැංගෙන්න අම්මගෙ වචනවලට බෑ....

"මං ඒක දන්නවා අම්මේ.... ඒත් සුදූ මේකට කැමති වෙයිද....?"

"එයා මොකටද අකමැති වෙන්නේ.... අපි මේ වැරැද්දක් කරන්න හදනවා නෙවෙයිනේ...."

අම්මයි අයියයි මේ මොනවා ගැනද මේ කතා වෙන්නේ.... මං නැවතිලා ටිකක් අහගෙන උන්නා...

"ඒත් අම්මේ... අපි සුදූටත් මේ ගැන කියලා ඉමු නේද...."

නෑනා ඒ පාර එයාගේ ලාමක හඬ අවදි කළා... ඇත්තටම මේ අයගෙ කුමන්ත්‍රණේ කරන්නේ මොකක් ගැන වෙන්න පුළුවන්ද...

"හරි කියන්න බැරියැ.... ඉස්සෙල්ලා හොඳ කොල්ලෙක් හොයමුකෝ...."

අම්මගෙ කටින් ඒ වචන ටික කියවෙද්දී මාව උඩ විසික් වුණා.... ඒ කියන්නෙ මෙයාලා මට මගුලක් හොයන්නයි යන්නේ....

මං මගෙ අන්තිම තීරණේ දීලා තියෙද්දිත් ඇයි මේ වගේ විකාර හිතන්නේ... මට බඳින්න කිසිම වුවමනාවක් නෑ....

"අම්මා..... මට මගුල් හොයන්න මහන්සි වෙන්න එපා..... "

මාව දැකපු ගමන් තුන් දෙනාගෙම ඇස් ලොකු වුණා...

"ස්....සුදූ....."

"ඔව්... සුදූ තමයි...."

මගෙ හිත කේන්තියෙන් පිරිලා... ඇයි අම්මලා මං අකමැති දේවල් කරන්නේ....

"මුරණ්ඩු වෙන්න හදන්න එපා සුදූ.... හැමදාම ඔහොම ඉන්න බෑ කෙල්ලෙක්ට.... "

අම්මගෙ හඬ ටිකක් සැර වුණා... අයියා තාම වචනයක්වත් කිවුවෙ නෑ... අක්කා බය වෙලා වගේ බලන් ඉන්නවා....

"මෙහෙම ඉඳලා මං කවදාහරි මැරිලා යයි.... අයියටත් හැමදාම ඔයා ගැන බලන්න බෑ.... ඊට පස්සේ ඔයාට යන කලක් තියෙන්න ඕනේ සුදූ...."

අක්කා ඉඳගෙන අයියට මොනවද කියනවා මං දැක්කා.... මට තේරුණේ අම්මගෙයි මගෙයි රණ්ඩුව නවත්තන්න කියනවා වගේ දෙයක්... ඒත් මං රණ්ඩු වෙන්න හිතාගෙන මෙහෙම කතා කරනවා නෙවෙයි.... මට ඕනේ මේක විසඳ ගන්න.... මං බඳින්න බෑ කියන්නේ හේතුවක් ඇතුව... ඒ හේතුව රහසක් නෙවෙයි... අම්මලත් මේ දේවල් දන්නවා... මට නොතේරෙන්නේ ඒ හැම දෙයක්ම දැන ගෙනත් ඇයි මේ අය කසාදයක් කරන්න යන්නේ කියලයි....

"මං මැරෙන දවසකට මට සැනසීමෙ මැරෙන්න ඕනේ සුදූ.... ඔයාට අනාතයෙක් වගේ ඉන්න උනොත් මං කොහොමද නිදහසේ ඇස් දෙක පියා ගන්නේ... මං අද මැරුණත් වතුර උගුරක් දෙන්න කෙනෙක් මට ඉන්නවා.... උඹලා දෙන්නගෙන් කවුරු හරි ඒක කරයි.... ඒත් සුදූ කසාදයක් නොබැඳ ඉඳලා කවදාවත් එහෙම දෙයක් කාගෙන්වත් බලාපොරොත්තු වෙන්න බෑ.... තමන්ට කියලා මනුස්සයෙක් ඉන්න ඕනේ.... "

අම්මා හුස්මක් නොගෙන කියවගෙන යනවා....

"දැන් ඔය ඇති අම්මා.... කලබල නොවී ඉන්නකො ටිකක්...."

ඒ අයියා.... මට හිතා ගන්න බෑ එයා කොහොමද මේ තරම් නිවිලා කතා කරන්නේ කියලා....

"මං කලබල වෙනවා නෙවෙයි ලොකූ.... මේ කෙල්ල මේ දේවල් තේරුම් ගන්න ඕනේ.... ඒත් බැරි නං අපි හරි තේරුම් කරලා දෙන්න ඕනේ... මොකද සුදූ කියන්නේ පොඩි ළමයෙක් නෙවෙයිනේ.... ගෑණියෙක්ට මොන තරම් හිතේ හයියක් තිබුණත් තනියම මේ ලෝකේ ජීවත් වෙන්න බෑ.... පිරිමියෙක්ගෙ ආදරයක් ආරක්ෂාවක් ඕනේ.... හරි.... කොහොම හරි එහෙම උන්නා කියමු.... ඒත් මැරෙන්න ඔන්න මෙන්න තියලා හරි තමන්ට මග ඇරුණ දේවල් ගැන පසුතැවෙන්න වෙනවා.... "

"මට පසුතැවෙන්න වෙන්නෙ කසාදයක් බැන්දොත් තමයි අම්මේ.... ටිකක් තේරුම් ගන්න.... මේ දේ මං මීට කලිනුත් ඔයාලට කියලා තියෙනවා අම්මේ.... මං වැඳලා කියන්නං... මට බඳින්න බෑ...."

අක්කා අම්මා ළඟට ගිහිං මේ කතාව නතර කරවන්න උත්සාහ කරනවා....

"අපි මේ ළමයට වැරැද්දක් කරන්න හදනවද අමා...."

ඒ ටිකට අම්මා අඬනවා... ඇත්තටම මට අම්මා අඬනවා බලන්න ඉන්න බෑ... ඒත් මේ කරන්න හදන දේට මට එකඟ වෙන්නත් බෑ...

"තාත්ත නැති වුණාට පස්සේ මං ඔයාලා දෙන්නට පුංචිම දුකක්වත් දැනෙන්න නොදී ලොකු මහත් කළා.... තාත්තා කෙනෙක් නැති අඩුව නොදැනෙන්න මට පුළුවන් හැමදේම කළා..... දැන් මට මහන්සී සුදූ.... මාත් ආසයි මැරෙන්න කලින් ඔයත් පිළිවෙලක් වෙනවා දකින්න.... අම්මා කෙනෙක් විදිහට මං මේ හිතන විදිහ වැරදිද අමා... ඔයාම කියන්න....?"

අම්මා ඒ පාර නෑනව අල්ල ගත්තා.... අක්කා මේ දේවල්වලට ඔව් කියනවද නෑ කියනවද කියලා හිතා ගන්න බැරුව ලත වෙනවා... ඒක මට එයාගෙ මූණෙන් පෙනුණා....

"ඔව් අම්මා ඔයා වැරදී.... මාව කාට හරි කසාද බන්දලා ඔයාලා මගෙන් නිදහස් වෙයි.... ඒත් එතන ඉඳන් නැති වෙන්නේ මගෙ හිතේ සැනසීම නේද.... ඇයි මගෙ පැත්තෙන් ඔයාලට හිතන්න බැරි.... මාව වදයක් නං.... මං මෙහෙ ඉන්න එක කරදරයක් නං අනේ කියන්න...... මං කොහෙ හරි යන්නං.... මට කාගෙවත් අකමැත්තෙන් මෙහෙ ඉන්න ඕනේ නෑ....."

"සුදූ...... වහගන්නවා කට....."

අයියා කෑ ගහගෙන ඉඳගෙන උන්න පුටුවෙන් නැගිට්ටා.... අම්මයි අක්කයි බය වුණත් මට ඒ වෙලාවෙ බයක් ඇති වුණේ නෑ.... මං ඒ ඇස් දිහාම බලන් උන්නා.....

###############
Photo

Post has attachment
දවසක් ඒවිද...

එකොළොස්වන කොටස


"අමා.... ෂොපින් කරලා ඉවර වෙලා ටැක්සි එකක් කතා කරගෙන ගෙදර යන්න..."

අයියා අපිව ටවුන් එකෙන් බස්සලා, එහෙම කිවුවා... ඒ දෙන්නගෙ ලව් එක ඉවර වෙනකන් මං කෙල්ලවත් වඩාගෙන පැත්තකට වුණා....

"ඔය දෙන්නත් එක්ක පරිස්සමෙන් හොඳද...."

අයියා ඒක නං කිවුවේ මං දිහා බලලා.... මටත් ඉතින් ඔය වගේ වෙලාවට කට වහන් ඉඳලා පුරුද්දක් නෑනේ.....

"මේ හලෝ.... මං බය නැතුව ඉන්නවා.... ඔයාගෙ මේ සුන්දර දරු පවුල මං පරිස්සමට ගෙදර අරන් එන්නං...."

අයියා කට කොනකින් හිනා වෙන ගමන් අක්කාට ඇස්වලින් යන්නං කියලා කාර් එක ඉස්සරහට ගත්තා....

අපේ අයියගෙයි අක්කගෙයි මැරේජ් එක සිද්ධ උනේ දැනට අවුරුදු පහකට කලින්.... තාමත් මේ දෙන්න ඉන්නෙ හරියට කුරුළු ජෝඩුවක් වගේ.... ඇත්තටම මේ අයගෙ ආදරේ හරිම ලස්සනයි... පිටින් ඉඳන් බලන කෙනෙක්ගෙ උනත් හිතට ලොකු සතුටක් ගේන්න ඒ ආදරේට පුළුවන්...

'අනේ.... මටත් මේ වගේ ආදරයක් ලැබුණ නං' කියලා ඒ වෙලාවෙ මට හිතුණා... ඒත් එක්කම මගෙ හිතේ ඇඳුණේ සිතිජගෙ රූපෙ... අපි දෙන්නට එකතු වෙන්න ලැබුණා නං සමහරවිට අපේ ආදරෙත් මේ වගේ ලස්සනට ගලාගෙන යයි.... ඒත් දැන් ඒ ගැන හිතලා වැඩක් නෑනේ....

අක්කා මගෙ අතිනුත් අල්ලගෙන පාර මාරු වුණා... කෙල්ල තාම මගෙ අතේ....

"සුදූ.... අපි ඉස්සෙල්ලම මොනවද ගන්න යන්නේ....?"

අක්කා මගෙන් ඇහුවේ වටේම තියෙන ෂොප්ස් දිහා බලන ගමන්...

"මට නං ඉතින් මොනවා ඉස්සෙල්ලා ගත්තත් එකයි...ඒත් අපි හා හාපුරා කියලා ඔයාගේ හබියට ඇඳුමක් අරගමු...."

මං එහෙම කිවුවාම අක්කගෙ මූණෙ හිනාවක් ඇඳුණා...

ඉතින් අක්කා එක ෂොප් එකක් තෝරගෙන ඒකට රිංගද්දී මාත් පොඩි එකීගෙ අතින් අල්ලගෙන එයා පස්සෙන් ගියා....

කොහොමෙන් කොහොම හරි සේරටම ඕනෙ කරන ඇඳුම් අර ගත්තට පස්සේ අන්තිම අපි ගියේ පොඩ්ඩිට ඇඳුමක් ගන්න....

අක්කාත් එක්ක ඇඳුම් තෝරන අතරෙ අහම්බෙන් වගේ මට ඇහුණා පොඩි එකෙක් අඬන සද්දේ... ඒ එක්කම මං කර කර උන්න වැඩේ පැත්තක තියලා සද්දෙ ඇහෙන දිහාවට කන දීලා බැලුවා....

මට දැන් පොඩි එකෙක් අඬන සද්දයක් ඇහෙනකොට මතක් වෙන්නේ සිතිජගෙ බබාව.... අනේ ඇයිද මංදා මේ ළමයා මගෙ හිතට මෙච්චරම ළං වුණේ.....

මං ඒ ගැන හිතන එක පැත්තකට දාලා ආයෙම පොඩ්ඩිට ඇඳුමක් තෝරන්න පටන් ගත්තා....

මේකටත් හොඳටම විසේ.... හරියට මට වගේමයි... එක තැනක ඉන්න බෑ... කඩි කාලා වගේ දඟලනවා... ඉතින් කොහොමද ඇඳුමක් අන්දවලා හරියනවද බලන්නේ.... අක්කයි මායි අලි පැටියෙක් බලා ගන්නවට වඩා අමාරුවෙන් තමා මේකව බලා ගත්තේ.... කොහොම හරි මහන්සි වෙලා අපි කෙල්ලට ලස්සන ගවුම් දෙකක් තෝර ගත්තා...

අක්කා කෙල්ලත් එක්ක ගිහිං, තෝර ගත්ත ඇඳුම් බිල් කරද්දී මං පැත්තකට වෙලා බලන් උන්නා... ඔක්කොමලා පෙරහැර වගේ යන්න ඕනේ නෑනේ ඒ වැඩේට...

ඒ එක්කම මට ආයෙමත් ඇහුණා පොඩි එකෙක් අඬන සද්දේ... හරියටම කියනව නං මට පිටි පස්සෙන් තමයි ඒ සද්දෙ ඇහුණේ....

ඔළුව හරවලා බලද්දී මං දැක්කා අන්කල් කෙනෙක් බබෙක් අතේ තියාගෙන නළව ගන්න ලොකු ට්‍රයි එකක් දෙනවා....

මේ ළමයගේ අම්මා කොහෙ ගිහිංද මංදා.... ඇයි දෙයියනේ... ළමයව නළව ගන්න පුළුවන් ගෑණු මනුස්සයෙක් ඉන්න එපැයි ළමයා ළඟ... අර වයසක අන්කල්ට පුළුවන්ද ඕවා කරන්න.... මේ ගෑණුන්ටත් ඇඳුම් දැක්කම සිහි කල්පනාවක් නෑනේ....

මං හිතින් බැන බැන ආයේ අක්කලා උන්න පැත්ත හැරෙන්න හැදුවා විතරයි....

"ඒ විජේ අංකල් නේද.....?"

මං ආයෙම හැරිලා බැලුවා.... මට වැරදීමක් වෙලා නෑ.... ඒ සිතිජගෙ තාත්තාම තමයි....

අක්කලා තාම පෝලිමේ ඉන්නවා.... ඒ හින්දා මං අන්කල් උන්න දිහාවට අඩිය තිබ්බා...

"අන්කල්......"

පොඩි එකාව නළව ගන්න ඔට්ටු වෙන ගමන් අන්කල් ඔළුව උස්සලා මං දිහා බැලුවා...

"පුතේ ඔයා.....?"

ඒ ඇස්වල තිබුණේ ලොකු පුදුමයක්....

මං කිසිම දෙයක් නොකියා පොඩි එකා දිහාවට අත් දෙක දික් කළා... අංකල් බය වෙලා වගේ මං දිහයි පොඩි එකා දිහයි දෙතුන් පාරක් මාරුවෙන් මාරුවට බැලුවා....

පොඩ්ඩා නැවතිල්ලක් නැතුව එක දිගට අඬනවා.... මට බලන් ඉන්න බැරිම තැන මං තවත් පරක්කු නොවී අංකල්ගෙ අතින් බබාව අර ගත්තා....

පව්... ඒ චූටි මූණ කඳුළු වලින් තෙත් වෙලා.... මං කොල්ලව මගෙ පපුවට තුරුල් කර ගත්තා... යන්තමින් ටිකක් ඇඬිල්ල බාල කරපු පොඩි එකා බෝල ඇස්වලින් මං දිහා බලද්දී මට මුළු ලෝකෙම අමතක වුණා වගේ දැනුණා....

මං කොල්ලවත් තුරුල් කරගෙන ගිහිං ෂොප් එකේ පැත්තක තියලා තිබුණ සෙටි එකෙන් ඉඳ ගත්තා... ටික වෙලාවක් යද්දී කොල්ලා අඬන එක නැවැත්තුවා.... ඒත් තාමත් ඉකි ගහනවා...

පොඩි එකා එයාගෙ චූටි අත් වලින් මගෙ මූණ අත ගානකොට හිතට දැනුණ හැඟීම මේකයි කියලා පැහැදිලි කරන්න මට තේරෙන්නේ නෑ... මං ඒ සිනිඳු අත් සිප ගත්තේ හිතේ ගැඹුරින්ම ඇති වුණ ආදරේකින්....

"සුදූ......."

කොල්ලගෙ සිහියෙන් උන්න හින්දා මාව ගැස්සිලා ගියා....

මං ඉස්සරහ උන්නේ අපේ අක්කා.... නෑනාගෙ මූණෙ තිබුණෙ කේන්තියක්ද එහෙමත් නැත්තන් බයක්ද කියලා ඒ වෙලාවෙ මට තේරුම් ගන්න බැරි වුණා...

"අක්කේ..... මේ බලන්න...."

මගෙ තුරුළට වෙලා සැපට නිදාගෙන ඉන්න චූටියව මං අක්කට පෙන්නුවේ හරියට රටක් රාජ්‍යයක් දිනුව ගානට...

අක්කා කිසිම දෙයක් නොකියා කොල්ලගෙ ඔළුව අත ගෑවා.... "අනේ නැන්දි මටත් බබාව පෙන්නන්නකෝ...." කියලා පොඩ්ඩි උඩපනිද්දී මං කෙල්ලට බබාව පෙන්නුවා...

"මේ බබා නැන්දිගෙද......?"

පොඩ්ඩි එහෙම අහද්දී මගෙ ඇස්, අක්කගෙ ඇස් එක්ක පැටළුණා... කෙල්ල අහපු ප්‍රශ්නෙට දෙන්න උත්තරයක් මං හෙවුවේ අක්කගෙ ඇස්වලින්...

"සුදූ අපි දැන් යමු...."

මට අක්කගෙ වචනෙට පිටුපාන්න තරම් හයියක් තිබුණේ නෑ.... චූටි පැටියගෙන් ඈත් වෙන්න එපා කියල හිත කියද්දිත්, මං එයාව විජේ අංකල්ගෙ අත් දෙකට දුන්නා...

"පුතේ..... අ... අනේ ගොඩක් පින් මේ කරපු උදවුවට.... ආන්ටි ඇඳුම් ගන්න ගිහිං..."

අන්කල්ගෙ මූණෙන් මං දැක්කේ ලොකූ අසරණකමක්....

"මෙයා නිදාගෙන උන්නේ.... අඬයි කියලා හිතුවෙ නෑ... එකපාරටම මොනවා වුණාද මංදා....."

අංකල් කියපු දේවල්වලට හිනාවකින් විතරක් උත්තර දීපු මං, ගිහිං එන්නං කියලා අක්කා පස්සෙන් වැටුණා....

ගෙදර ආවට පස්සේවත් අක්කා ඒ වෙච්චි දේ ගැන වචනයක්වත් ඇහුවේ නෑ....

---------------------------

"අම්මා...... "

රෑ කෑම මේසේ ඉඳ ගන්න ගමන් අයියා කතා කරන්න පටන් ගත්තා...

"අම්මේ.... මේ පාර තාත්තාගෙ දානේ අපි ගෙදර කරමු නේද.....?"

අම්මාගෙන් උත්තරයක් බලාපොරොත්තුවෙන් මාත් ඔළුව උස්සලා බැලුවා...

"මාත් ඕකම හිතුවා ලොකූ..... මේ පාර සුදූත් ඉන්න හින්දා අපි හාමුදුරුවෝ හත් නමක් විතර ගෙදරට වඩම්මලා දානේ දෙමු පුතේ...."

මටත් හිතුණා ඒ විදිය හොඳයි කියලා.... මොකද අවුරුදු හතරක්ම මට තාත්තාගේ දානෙට ඉන්න බැරි වුණානේ... ඒ වුණාට මං ඒ දවස වරද්දන්නේ නැතුව නැන්දත් එක්ක එහෙ තිබුණ පන්සලකට ගිහිං පිරිකර පූජා කළා....

"සුදූ.... ඔයා මොකද කියන්නේ.... එහෙම හොඳයි නේද.....?"

අම්මා මගෙනුත් උත්තරයක් ගන්න වගේ ඇහුවා... මං ඔළුව වනලා ඒකට උත්තර දුන්නා....

"අම්මා.... ඔයාට මතකද අර අපිත් එක්ක ස්කෝලේ උන්න විනෝද්....."

අයියා ඒ පාර අලුත් කතාවක් පටන් ගත්තා.... ඒ අතරෙ අක්කා අයියගෙ පිඟානට අඩු පාඩු බෙදනවා....

අක්කා එක්ක කෑම කකා උන්න පොඩ්ඩි ඇවිත් මගෙ ළඟම තිබුණ පුටුවට නැගලා කෑම මේසෙන් ඉඳ ගත්තා....

"කොහෙද මේ ගස් බඩ ගාන්නේ.....?"

මං සැරෙන් වගේ අහද්දී කෙල්ල කිරිදත් පෙන්නලා හුරතලේට හිනා වුණා...

"මොකද විරිත්තන්නේ.... ආහ්...."

මං කෑම කන එක පැත්තකින් තියලා කෙල්ලගෙ කම්මුලක් මිරිකුවා....

"බබී.... නැන්දිට කෑම කන්න දීලා මෙහෙ එන්න බයි කවන්න....."

"අම්මි කන්න.... බබාට නැන්දි කවයි...."

ඔන්න ඔය විදියට අක්කගෙ ඩියුටි එකක් මගෙ ඔළුවට කඩන් වැටුණා....

"අම්මා මතක නැද්ද....?"

පොඩ්ඩිගේ වැඩ හින්දා, පටන් ගත්ත තැනම නැවතුණ කතාව අයියා ආයෙ කියන්න ලෑස්ති වුණා...

"ඇයි අම්මෙ අර අපි ඒ දවස්වල පොත් එහෙම අරන් දීලා උදවු කළේ.... අර එයාලගෙ තාත්තට කිඩ්නි ප්‍රශ්නයක් එහෙම තිබ්බේ....."

අම්මා කෑම කන එක පැත්තකින් තියලා කල්පනා කරනවා....

"ආහ්... හරි හරි.... මට මතකයි.... ලොකූ ඔයා ඔය කියන ළමයා නේද අර පවුල පිටින්ම බදුල්ලේ ගියේ.... තාත්තගෙ ට්‍රාන්සර් එකක් කියලා..."

"ඔව්... මට විනෝද්ව මීට් වුණා පහුගිය දවසක.... "

දැන් කට්ටියටම කන්න මතක නෑ... කට ඇරගෙන අයියා කතාව කියනකන් බලන් ඉන්නවා...

"ඒ ළමයි දැන් හොඳින් ඉන්නවද පුතේ....?"

"නැතුව.... කොල්ලට දැන් සරුයි..... "

ඒක කියපු ගමන් මට බකස් ගාලා හිනා ගියා... ඔක්කොමලා පුදුම වෙලා වගේ මං දිහා බලන් ඉන්නවා... තව ටිකෙන් බත් කටත් පිට උගුරෙ යනවා....

"මොකද සුදූ....?"

නැවතිල්ලක් නැතුව හිනා වෙනකොට අම්මා ඇහුවා...

"න්... නෑ.... නෑ... අම්මේ අයියා කරපු විහිලුවට හිනා ගියේ...."

එහෙම කියලා මං වතුර ටිකක් බිවුවා..... තමන් කරපු විහිලුව මොකක්ද කියලා අයියා කල්පනා කරනවා... ඒ අතරෙ අම්මයි අක්කයි මූණෙන් මූණ බලාගෙන ඉන්නවා....

"පිස්සුද හලෝ... තමුන්ගේ වයසෙ කොල්ලො කොහෙද මේ රටේ ඉන්නේ.... බූරුවෝ හත් අටදෙනක්ගෙ වයස.... හිතන් ඉන්නේ තාම කොල්ලො කියලා...."

මං එහෙම කියද්දී එකපාරටම අක්කටත් හිනා ගියා.... අම්මත් කට තද කරගෙන හිනා වෙනවා...
අයියගෙ මූණ කේන්තියෙන් රතු වෙලා.... එහෙම නොවෙයිද ඉතින් මෙච්චර වැදගත් කතාවක් කියන්න යද්දී ඒක කඩාකප්පල් කළාම... ඊටත් වඩා ඉතින් එයාගෙ දයාබර බිරිඳත් හිනා වුණානේ....

අයියා අක්කා දිහා ඔරවලා බැලුවාම අක්කා අමාරුවෙන් හිනාව නවත්ත ගන්න ට්‍රයි කරනවා මං දැක්කා....

"සුදූ.... විහිලු කරන එක නවත්තලා කෑම කන්න...."

අම්මා අයියගෙ හිත හැදෙන්න මට සැර කළා...

පව් අප්පා.... අපේ අයියාගේ ඇද වෙච්චි මූණ දැක්කම මට ඇඬෙන්න වගේ...

"ඔයා කියන්න ලොකූ.... මේ කෙල්ලට පිස්සු...."

ඔන්න ඔන්න අම්මා එයාගේ පුතණ්ඩියව හුරතල් කරන්න යනවා....

කොහොම හරි ඉතින් මට හොඳ හැටි රවලා එහෙම අයියා ආයෙත් කතාව පටන් ගත්තා....

"විනෝද්ට දැන් උගෙම කියලා බිස්නස් එකක් තියෙනවා අම්මේ.... ඒ වැඩකට මෙහෙ ආපෙ වෙලාවක තමා ඔය මාව මීට් වෙන්න ආවේ...."

"අනේ හරීම හොඳ ළමයෙක් ලොකූ.... ඇත්තමයි.... ඒ කාලේ ඔය ළමයින්ට ඒ හැටි සල්ලියක් තිබුණේ නෑනේ.... ඒත් ඉතින් කොහොම හරි ඉගෙන ගෙන අද හොඳ තැනක ඉන්නවා...."

අයියා ඒ කතාව අනුමත කරන්න වගේ ඔළුව වැනුවා....

"ඒ දරුවගෙ දෙමව්පියො හොඳින් ඉන්නවලුද ලොකූ.....?"

"තාත්තා නැං දැනට අවුරුදු දෙකකට විතර කලින් නැති වුණාලු.... අම්මට නං වරදක් නෑ කිවුවා.... ආහ්... නංගි දැන් කැම්පස් අවුට් වෙලා ජොබ් එකක් හොයනවලු..."

අනේ අපි නං දන්නේ නෑ මේ කියන විනෝදයක්... අම්මයි අයියයි විනෝදයෙක්ව අල්ලන් කන හින්දා අක්කයි මායි අපේ පාඩුවේ බත් කෑවා.....

"අම්මව බලන්න ඕනේ කියලා දවසක ගෙදර අයත් එක්කම එන්නං කිවුවා...."

###############
Photo

Post has attachment
දවසක් ඒවිද...

දහවන කොටස


හොස්පිට්ල් එකෙන් ඩිස්චාර්ජ් කරලා ගෙදර ආපු ගමන් මං කළේ නා ගත්ත එක.... දවස් හතර පහකින්ම මං නාලා තිබුණේ නෑනේ... කොණ්ඩෙත් එකට ඇලිලා පීරන්නවත් හිතෙන්නෙ නැතුව තිබ්බේ...

නාගෙන එහෙම මං කෙලින්ම වැටුණේ ඇඳට... ෆෝන් එකේ සින්දුවකුත් දාගෙන ඇස් දෙක පියා ගත්තා...

මොනව උනත් තවමත් මට අර බබාව අමතක කර ගන්න බැරි වුණා... දැකලා තිබුණේ එකම එක දවසක් වුණාට එයා මගෙ හිතට ලොකූ බරක් එකතු කළා...

සිතිජව බලන්න දකින්න ආසා කරපු මට පවනි ඉන්න එක ලොකු ප්‍රශ්නයක් වුණේ නෑ... මොකද අවුරුදු ගානක් තිස්සේ මහන්සි වෙලා මං මගෙ හිත හදා ගෙන හිටියේ... ඒ හිතට සිතිජගෙ වයිෆ් පවනි කියන එක දරා ගන්න පුළුවන් කියලා මට සීයට සීයක් විශ්වාසයි....

ඒත් ඒ පවුලට පොඩි එකෙක් එකතු වෙලා ඇති කියලා මට නිකමටවත් හිතුණෙ නෑ.... ඒ ෂොක් එක තාමත් මගෙ හිතට දරා ගන්න බෑ... ඒකයි මං මේ තරම් වැටිලා ඉන්නේ...

හිතට එක සීරුවට එන සිතුවිලි දරා ගන්න බැරිකමට මං කොට්ටෙට මූණ තදකර ගත්තා...

මං සිතිජත් එක්ක එකතු වෙලා හදන ලස්සන පොඩි පවුලක් ගැන මොන තරම් හීන දැක්කද... ඒ හීන හැබෑ වුණා නං මං තරම් වාසනාවන්ත කෙල්ලෙක් මුළු ලෝකෙම නැති වෙයි.... මං දැකපු හීනෙ අද පවනි හැබෑ කරගෙන... මගෙ හීනෙ, මං හිටපු තැන, අද ඉන්නේ පවනි.... මගෙ හිතේ කිසිම ඊර්ෂ්‍යාවක් නෑ... ඒත් මතක් වෙන මතක් වෙන හැමපාරකම මගෙ පපුව රිදෙන්න ගන්නවා....

"සුදූ......."

අක්කා ඇඳෙන් ඉඳගෙන මගෙ ඇඟට අත තියලා කතා කළා....

ඉක්මනට හිටපු ඉරියව්ව වෙනස් කරපු මං කොට්ටෙ තියලා ඇඳ විට්ටමට හේත්තු වුණා....

"අනේ.... නිදාගෙනද උන්නේ.....?"

අක්කා එහෙම අහන්න ඇත්තේ මං ඇඟිලිවලින් ඇස් දෙක පොඩිකර ගත්ත හින්දා වෙන්න ඇති...

"අපෝ නෑ හලෝ... පහුගිය ටිකේම නිදියලා දැන් නින්ද යන්නේ නෑ...."

මං එහෙම කළේ ඇස්වලට උනපු කඳුළු හංග ගන්න කියලා අක්කට නොතේරුණ එක ගැන හිතින් සතුටු වෙන ගමන් උත්තර දුන්නා...

"මට කම්මැලි හිතුණා.... ඒකයි ඔයා එක්ක කතා කරන්න ආවේ....."

මේක නං ලෝක පුදුමයක්.... මොකද අපේ නෑනට ලේසියෙන් කම්මැලි හිතෙන්නේ නෑ.... කරන්න වැඩක් නැත්තන් එයා වැඩක් මවලා හරි කරනවා... අනික මොන වැඩේ කළත් කම්මැලී කියනවා මං මෙච්චර දවසකට අහල නෑ...

"කෝ අයියයි පොඩ්ඩී......?"

මං එහෙම ඇහුවෙ අපේ අයියා ගෙදර ඉන්න දවස මෙයාට නිදහසක් නැති හින්දා....

"අමාලී... තේ එකක් බොමුද....?"
"අමා... තාම උයල ඉවර නැද්ද... බඩගිනී...."
"අමා.... කන්න මොනවත් පොඩි දෙයක් නැද්ද....?"

ඔය අපේ අයියා ගෙදර ඉන්න දවසට වැඩිපුරම කියන දේවල්වලින් ටිකක්.... වචන දහයක් කිවුවොත් අටක්ම අමාලී..... මෙයත් ඉතින් කියපු සැනින් ඕනෙ දෙයක් කරලා දෙන්න දකුණු කකුළ පෙරට තියන් ඉන්නේ....

"අයියා පත්තරේ බලනවා.... කෙල්ල අම්ම එක්ක නිදි....."

"ඒක තමයි මේ.... මං ඒත් බැලුවා අපේ නෑනාට කොහෙන්ද මේ ෆ්‍රී ටයිම් එකක් ආවෙ කියලා...."

මං කියන්නෙ මොකක් ගැනද කියලා දන්න හින්දම අක්කගෙ මූණ රතු වුණා... ඇයි ඉතින් අයියව හුරතල් කරන්නෙ මෙයා තමයි කියලා මං හැම වෙලාවෙම බනිනවනේ....

"හරි හරි.... ඒකෙන් වැඩක් නෑ.... මොනවා හරි කියමුකො බලන්න....."

මං එරමිණියා ගොතාගෙන වාඩි වුණේ මොකක් හරි සම්ප්‍රප්පලාපයක් අහන්න....

"සුදූ..... මං දෙයක් අහන්න මට ඇත්තම කියනවද.....?"

විකාර කියව ඉඳලා එක පාරටම අක්කා එහෙම ඇහුවා....

"හ්ම්..... අහන්නකො...."

"එදා ඔයා කොහෙද ගියෙ සුදූ.....?"

"එදා කිවුවේ......?"

මං කල්පනා කළා....

"අර ඔයා අසනීප වුණ දවසට කලින් දවසේ... උදේ...."

මෙයා මෙච්චර වෙලා හොරගල් ඇහුලුවෙ මොකටද කියලා මට දැනුයි තේරුණේ.... මට හීන් දාඩිය දැම්මා....

කොහෙ ගියා කියලද දෙයියනේ මං කියන්නේ... අක්කට බොරු කියන්න හිත දෙන්නෙත් නෑ... ඒත් එහෙමයි කියලා ඇත්ත කියන්නත් බෑ....

අක්කා මං දිහා බලන් ඉන්න විදිහටම මගෙ කටේ කෙල ටික හිඳුණා...

මං සිතිජගෙ ගෙදර ගියා කියන එක අක්කගෙ කටින් අයියගෙ කනට ගියොත් එහෙම මං ඉඳලා ඉවරයි.... අයියා මාව මරයි....

"අක්කේ.... මේ... මං... එදා..."

"ඔව්.... එදා කොහෙද ගියේ... මං අයියට කියන්නෙ නෑ සුදූ... මට ඇත්ත කියන්න.... ඔයා උදේ යනකොටම මට තේරුණා ඔය නං කියන්නේ බොරුවක් කියලා....."

එතකොට අක්කාට කලින්ම තේරිලාද.... දැන් නං බොරුවක් කියන්න විදිහක් නෑ වගේ....

"ඔයා ඒ ගිහිං ඇවිල්ලත් උන්නේ ලොකු අප්සට් එකක.... අහන්නං කියලා උන්නට මට එදා ඒක අහන්න බැරි වුණා.... අනික... ඔයාට මේ හිටි හැටියෙ උණ ගැනුණෙත් ඒ ගමන හින්දයි කියලා මට හිතෙනවා...."

අක්කා බලන් උන්නා වගේ හැමදේම කියනවා... මෙයා අපිට හොරෙන් සීඅයිඩී එකේවත් වැඩ කරනවද මංදා....

"බය නැතුව මට ඇත්ත කියන්න සුදූ.... ඔයා දන්නවනේ මං ඔයාගෙ නෑනා උනාට යාළුවෙක් වගේ ඔයා එක්ක ඉන්නේ කියලා.... ඉතින් ඔයාට මට කියන්න බැරි දෙයක් නෑනේ...."

අන්තිමේ මං ඇත්ත කියන්න තීරණය කළා....

"අක්කේ.... මං... මං එදා ගියේ....මේ... සිතිජගෙ ගෙදර...."

මං දැක්කා අක්කා එකපාරට ගැස්සෙනවා.... ඒ එක්කම එයා බෙල්ල හරවලා කාමරේ දොර දිහා බැලුවේ කවුරු හරි එයිද කියලා දැන ගන්න වගේ....

"ඇයි සුදූ ඔයා එහෙ ගියෙ.....?"

හඬ අඩු කරලා අක්ක මගෙන් ඇහුවා.....

මං මොකුත් නොකියා බිම බලා ගත්තා....

"අයියා මේක දැන ගත්තොත් එහෙම පරල වෙයි.... අනික ඔයා නැතුව ඉන්න බැරි බව දැන දැනත් අම්මයි අයියයි ඔයාව නිව්සීලන්ඩ් යැවුවේ මේ දේවල්වලින් ඈත් කරලා තියන්න ඕනේ හින්දා නේද දරුවො....?"

අක්කා කියන දේ ඇත්ත.... මං ඒ හැමදේම ඈත් කළා.... අනික මං ලංකාවට ආවේ මගෙ හිත හදාගෙන... ඒත් දැන් මගෙ හිතට මොකක්ද වෙලා... මට තේරෙන්නෙ නෑ.....

"සුදූ.... සිතිජ කියන්නේ දැන් කසාද බැඳපු මනුස්සයෙක්.... එයාව අයිති වෙන කෙනෙක්ට... එහෙම කෙනෙක් ගැන හිතන එකත් පවක්..."

"ඒක මං දන්නවා අක්කේ..... මගෙ හිතේ දැන් සිතිජ ගැන එහෙම අදහසක් නෑ අක්කේ..... මං ආපහු ලංකාවට පය තිබ්බේ මගෙ හිත හැමදේකින්ම නිදහස් කරගෙන...."

"එහෙනං ඇයි එහෙ ගියේ... ඔයාට එහෙ යන්න තිබුණ උවමනාව මොකක්ද....?"

අක්කා මගෙ අත් දෙකෙන් තද කරලා අල්ලගෙන ඇහුවා...

"මං ගියෙ මගෙ හොඳම යාළුවව බලන්න..."

මං ඇඳෙන් බිමට බැස්සා...

"අනික පොඩි කාලේ ඉඳලා අපි ගැන හොයලා බැලුව ඒ මිනිස්සුන්ව බලන්න යන්න මට බැරිද.... අන්කල්ලා අපිට වරදක් කරලා නෑනේ...."

අක්කා නැගිටලා ඇවිත් මාව එයාගෙ පැත්තට හරවා ගත්තා....

"හරි... ඒක හරි කියමු... එතකොට එහෙ ගිහිං ආපු වෙලාවෙ ඉඳලා මොනවද ඔය තරම් කල්පනා කරන්නේ.... ඒ විතරක් නං කමක් නෑ.... කල්පනා කරලා කල්පනා කරලා අන්තිමට උණත් හදා ගත්තා.... "

අක්කා එහෙම කිවුවෙ තරහින් නෙවෙයි... එයාගෙ මූණෙන් මං දැක්කේ ලොකු දුකක්...

"මේක විහිලුවක් නෙවෙයි සුදූ.... ඔයා මේ සෙල්ලම් කරන්නේ ඔයාගෙ ජීවිතෙත් එක්ක... ලස්සන ජීවිතයක් ඔයාට ලැබිලා තියෙනවා... නිකරුණේ ඒක නැති නාස්ති කර ගන්න එපා...."

අක්කගෙ ඇස්වල කඳුළු පිරිලා....

"අක්කේ..... සිතිජට..... එයාලට දැන් චූටි බබෙක් ඉ..න්..න...වා...."

අන්තිම හරිය කියද්දී මගෙ කටහඬ බිඳිලා ගියා....

"සුදූ....."

"ඔව් අක්කේ.... මං ඒ බබාව දැක්කා.... මගෙ අතටත් ගත්තා.... හරිම ලස්සන බබෙක්....."

එහෙම කියද්දී මට ඇඬුණා....

"මෙහෙන් ඉඳ ගන්නකො.... අඬන්නේ නැතුව ඉන්න දරුවෝ....."

"අක්කේ.... ඒ මං දැකපු හීනේ.... ඒත්... ඒත් මට ඒ හීනේ අයිතියක් නැතුව ගියා.... මට කවදාවත්ම ඒ හීනේ හැබෑ කරගන්න වෙන්නෙ නෑ අක්කේ.... සිතිජව මට සදහටම නැති වුණා කියලා, මෙච්චර දවසක් ගිහිල්ලත් අදයි අක්කේ මං තේරුම් ගත්තේ.... පොඩි එකාගෙ මූණ මට ඒ දේ තේරුම් කරලා දුන්නා අක්කේ....."

අක්කා මාව එයාගෙ පපුවට තුරුල් කරගෙන ඔළුව අත ගෑවා....

"නාඬා ඉන්න සුදූ.... අම්මා එහෙම ආවොත් බලයි මේ මොකද කියලා...."

"මට අඬන්න ඕනේ නෑ අක්කේ... මං ආයෙ අඬන්නේ නෑ කියලා හිතාගෙනයි මෙහෙට ආවේ... ඒත් මට දුකයි අක්කේ.... මට මේක දරා ගන්න බෑ...."

අක්කා මගෙ හිත හදන්න හුඟක් දේවල් කිවුවා... මාත් අඬලා අඬලා මගෙ හිතේ හංඟගෙන උන්න වේදනාව තුනී කර ගන්න උත්සාහ කළා....

"අමාලී........."

අයියා පහළ ඉඳන් කෑ ගහද්දී අක්කයි මායි දෙන්නම ගැස්සිලා ගියා.... අක්කා මාව එයාගෙ තුරුළෙන් ඈත් කරලා මගෙ තෙත් වෙලා තිබුණ කම්මුල් පිහ දැම්මා....

"දැන් ඔය ඇති සුදූ..... අයියා එහෙම ආවොත් මෙතන යුද්ධයක් වෙයි.... මං බලලා එන්නං... දැන් ගිහිං මූණ හෝදගෙන එන්නකෝ....."

අක්ක ඉක්මනට මගෙ කාමරෙන් එළියට දිවුවා.... ඒ අතරෙ මං බාත්රූම් එකට රිංග ගත්තා... සින්ක් එක ඉස්සරහ හයි කරලා තිබුණ කණ්ණාඩියෙන් මගෙ මූණ පෙනෙද්දී ලොකූ තරහකින් මගෙ හිත පිරුණා.... තවත් වෙලා හිටියොත් මං මොනවා කරයිද කියලා හිතා ගන්න බැරි හින්දා මූණ හෝදගෙන එළියට ආවා....

"සුදූ..... වගීෂ ඇවිත්....."

මං මූණ පිහදාද්දි අක්කා ඇවිත් කිවුවා....

"වගීෂ.....?"

"ඔව්.... ඔයාට සනීප නෑ කිවුව හින්දා බලන්න ඇවිත්.... "

"හ්ම්..... මං එන්නං... අක්කා යන්න....."

-------------------------

මං පහළට යද්දී වගීෂ, අපේ අයියා එක්ක දේශපාලන සංවාදයක්....

"ආහ්..... ලෙඩ්ඩු බලන්න එන්නෙ දැන්ද..... හරි ෂෝක් යාළුවෝ....."

මගෙ සද්දෙට දෙන්නගෙ කතාව නැවතුණා... මටත් ඕනේ වුණා ඒ විකාර කතාව නවත්තන්න තමයි.... නැත්තන් ඕක කොහෙන් කෙලවර වෙයිද දන්නෙත් නෑනේ....

"අනේ සොරි ෂෙනෝ..... මං ඔෆිස් එකේ අර්ජන්ට් වැඩ වගේකට හිර වෙලා උන්නෙ පහුගිය ටිකේ.... ඒකයි හොස්පිට්ල් එකට එන්න බැරි වුණේ...."

"කොහොමද මාව ඩිස්චාර්ජ් කළා කියලා දැන ගත්තේ.....?"

මං අයියා ළඟ පුටුවෙන් ඉඳ ගන්න ගමන් ඇහුවා...

"මං හොස්පිට්ල් එකට යන්න ආවේ.... මඟදී නිකමට සෂීට කෝල් කරලා ඇහුවා ඔයා තාම හොස්පිට්ල් එකේද නැත්තං ගෙදරද කියලා.... ඒ වෙලාවෙ තමයි සෂී කිවුවේ දවල් ඩිස්චාර්ජ් කළා කියලා..."

අපි දෙන්නා කතා කර කර ඉද්දී අයියා නැගිටලා කිචන් එකට ගියා....

එදා පාර්ටි එකේදි මීට් වුණාට හරියට කතා කරන්න ලැබුණෙත් නෑනේ.... ඒ හින්දා අපිට කතා කරන්න නං ගොඩක් දේවල් තිබුණා....

#############
Photo

Post has attachment
දවසක් ඒවිද....

නමවන කොටස


"සුදූ...... සුදූ.... අනේ ඇස් අරින්නකො පුතේ...."

හීනෙන් වගේ මට අම්මගෙ කටහඬ ඇහුණා.... ඒත් මට ඇස් දෙක ඇර ගන්න පුළුවන් උනේ නෑ.... කතා කර ගන්නවත් පණක් නෑ....

"බල බලා ඉඳලා හරියන්නෙ නෑ අම්මේ.... සුදූව ඉක්මනට හොස්පිටල් අරන් යං...."

ඒ අයියා.... ඒත් මට කාවවත් පේන්නේ නෑ.... වටේම සද්ද වෙන ලෝකෙක ඉඳලා එනවා වගේ මට ඇහෙනවා....

අනේ.... අර....පොඩි බබෙක් අඬනවා.... ඇයි කවුරුත් එයාව නළවන්නේ නැත්තේ.... පව් එයා හොඳටම අඬනවා.... මංවත් ගිහිං එයාව නළව ගන්න ඕනේ....

ඒ අතරෙ මට තේරෙනවා මගෙ මුළු ඇඟම ගිනි ගන්නවා වගේ..... ඒත් මොනවත් කර ගන්න මට බෑ.... මට මොනවද මේ වෙලා තියෙන්නේ....

--------------------------

මං එකට ඇලවිලා වගේ තිබුණ ඇස් දෙක ඇර ගත්තේ බොහොම අමාරුවෙන්.... ඉස්සෙල්ලම බොඳවෙලා පෙනුණේ සුදු පාට සිවිලිමක්....

ආයෙමත් ඇස් දෙක පියා ගත්ත මං ටික වෙලාවක් එහෙමම ඉඳලා ආයෙම ඇස් ඇරලා බැලුවා...

"සුදූ........."

ඒ ඇරපු ඇස්වලට ඊළඟට පෙනුණේ අක්කගෙ මූණ.... එයා මගෙ ඔළුව අත ගාන ගමන් මං දිහා බලන් උන්නා...

"දැන් කොහොමද සුදූ.....?"

"මෙයා මොකද මගෙන් කොහොමද කියලා අහන්නේ..... මට මොකද වෙලා තියෙන්නෙ..... අනික මං මේ කොහෙද ඉන්නේ...."

අහන්න ගොඩක් ප්‍රශ්න තිබුණ වුණත් එක වචනයක්වත් කියා ගන්න බැරි තරමට මාව ගොළු වෙලා තිබුණා...

අක්ක ඒ ගැන තේරුම් ගත්ත හින්දද කොහෙද මාව කෙලින් කරලා වතුර ටිකක් පෙවුවා... වතුර ටික උගුරෙන් පහළට යද්දී මෙච්චර වෙලා වේලිලා තිබුණ උගුර කට ආයෙ තිබුණ හැටියට ආවා....

"අක්කේ..... මං මේ කොහෙද ඉන්නේ....?"

හුරු පුරුදු නැති වටපිටාව මගෙ හිතට එකතු කරපු පළවෙනි ප්‍රශ්නෙ මං ඇහුවා....

"හොස්පිටල් එකේ....."

මගෙ ඇස් දෙක නළලට ගියා.... අක්ක බොරුවක්වත් කියනවද....

"ඇයි දෙයියනේ මං ඊයෙ යස අගේට උන්නේ.... මොනවට හොස්පිටල් ආවද...."

මං මගෙන්ම ප්‍රශ්න කළා...

මගෙ හැඟීම් තේරුම් ගත්ත හින්දද මංදා අක්කගෙ මූණෙ ලාවට හිනාවක් ඇඳුණා....

"ඔයාට ඊයෙ උදේ උණ ගැනිලා තිබුණනේ සුදූ.... ඒකයි අපි ඉක්මනට හොස්පිට්ල් එක්කන් ආවේ...."

"ඊයෙ උදේ....?"

මං එහෙම ඇහුවා නෙවෙයි මට නොදැනිම එහෙම ඇහුණා... මොකද ඊයෙ උදේ මං හොඳට උන්නනේ.... මං සිතිජගෙ ගෙදරත් ගිහිං ආවනේ.... එතකොට මේ කියන්නේ මොකක්ද...."

"මට උණ හැදුණේ ඊයෙද..... ඒක වෙන්න බෑනේ.... මං ඊයෙ හොඳට උන්නනේ.... මං සිති...... නෑ.... මං කිවුවේ අර මගෙ යාලුවෙක්ගෙ ගෙදරත් ගිහිං ආවනේ...."

තව ටිකෙන් සේරම ඉවරයි.... මගෙ කටටත් බ්‍රේක් නෑනේ.... මං ඊයෙ ගියෙ සිතිජව බලන්න කියලා දැන ගත්ත නං එහෙම ජීවත් වෙලත් හමාරයි....

"ඒ ඊයෙ නෙවෙයි ළමයො.... පෙරේදා....."

අක්කා කියපු දේ තේරුම් ගන්න මට ටිකක් වෙලා ගියා....

"පෙරේදා....."

"හ්ම්..... ඊයෙ උදේ බලනකොට ඔයාට සහලෝල උණ.... අපි එහෙමම ඔයාව මෙහෙට අරන් ආවා... ඔන්න දැන් තමයි ඔයාට හරියට සිහිය ආවේ..."

අක්ක කියපු දේවල් මට තවමත් විශ්වාස නෑ.... එතකොට... එක දවසක්ම මං කිසිම දෙයක් නොදැන හොස්පිටල් එකේ උන්නද....

ඒ ගැන කල්පනා කරද්දි එක පාරටම වගේ මගෙ ඔලුවෙ පැත්තක් රිදෙන්න පටන් ගත්තා.... මං අත් දෙකෙන්ම ඔලුව තද කර ගනිද්දි අක්ක කලබල වුණා...

"ඇයි ඔළුව රිදෙනවාද සුදූ..... කෝ... ටිකක් ඇල වෙලා ඉන්නකෝ.... ඔයාට තාම හොඳටම හොඳ නෑනේ....."

මං කොට්ටෙන් ඔළුව තියගෙන ඇස් පියා ගත්තා.... ඒ අතරෙ අක්කා හෙමින් සැරේ මගෙ ඔළුව අත ගෑවා....

------------------------------

හොඳටම හොඳ වෙනකං, මට දවස් තුන හතරක්ම හොස්පිට්ල් එකේ ඉන්න වුණා....

ඇඟේ ලෙඩේ හොඳ වුණාට හිතේ ලෙඩේ නං ලේසියෙන් හොඳ වුණේ නෑ.... මට හැම වෙලාවකම වගේ සිතිජගෙ බබාව මතක් වුණා... ඒ වෙලාවට පපුවෙ කොනකින් පටන් ගන්න වේදනාවත් එක්කම ඇස්වලට කඳුළු පිරුණා.... කොහොම වුණත් ඒ කඳුළු හංඟ ගන්න මට ගොඩක් මහන්සි වෙන්න සිද්ධ වුණා... මොකද මේ කඳුළු වලට හේතුව කිසිම කෙනෙක් එක්ක කියන්න පුළුවන්කමක් මට තිබුණේ නෑ.....

"නැන්දී......."

පොඩ්ඩි කෑගහගෙන ඇවිත් ඇඳ ළඟ තිබුණ පුටුවට කකුල තියලා ඇඳට නැග්ගා.... මං හිතේ තිබුණ වේදනාව ටිකකට පැත්තකට කරන ගමන් කෙල්ලව ළඟට අරගෙන තුරුල් කර ගත්තා....

ඒ එක්කම රූම් එකේ දොර ඇරගෙන ඇතුළට ආවෙ අපේ අයියයි අක්කයි....

"ආහ් ආපු ගමන් නැන්දිට කරදර කරන්න පටන් ගත්තද.....? "

අක්ක අරන් ආපු බෑග් එක මේසෙ උඩින් තියන ගමන් ඇහුවා....

"කෝ... කෝ... මෙහෙට එන්න.... නැන්දිට කරදර කරන්න එපා බබී...."

අක්ක කෙල්ලව ඇඳෙන් බස්ස ගන්න ට්‍රයි කරද්දි කෙල්ල තව තවත් මට තුරුල් වුණා....

"ඔහෙ උන්න දෙන් අක්කේ.... මට කරදරයක් නෑ...."

මං කෙල්ලගෙ ඔළුව සිප ගත්තා.... ඒත් එක්කම මට දැනුණේ හරිම මෘදු ඕඩික්ලෝන් සුවඳක්.... මං ඇස් පියාගෙන ඒ සුවඳ විඳිද්දී අයියා මගෙ නළලටයි බෙල්ලටයි අත තියලා බැලුවා....

"දැන් අමාරුවක් නෑ නේද සුදූ.....?"

මං ඇස් දෙක වහගෙනම නෑ කියන්න ඔළුව වැනුවා....

ඒ එක්කම අම්මත් වොෂ් රූම් එකේ ඉඳලා එළියට ආවා....

"ආහ්.... මේ ඇවිත් ඉන්නේ කට්ටියම... සුදූ මෙච්චර වෙලා පාලුයි කිය කියා මූණ එල්ලන් උන්නේ.... දැන් හරිනේ...."

අක්කා ගෙදරින් හදන් ආපු කෑම පිඟන්වලට බෙදද්දී අම්මත් ඒකට උදවු වුණා...

"ඔයාලා කාලද දුවේ ආවේ.....?"

"නෑ අම්මේ... මේ... අපේ එක්කෙනා කිවුවේ ඇවිත් අම්මලා එක්කම කමු කියලා...."

අම්මලා ඒ වැඩේ කරද්දී අයියා මගෙ ඇඳ ළඟ තිබුණ පුටුවෙන් ඉඳ ගත්තා....

"මේ සුදූ....."

මේ ආදරෙන් ලෑස්ති වෙන්නේ හොඳකට නං නෙවෙයි කියලා මට ඉවෙන් වගේ කියන්න පුළුවන්....

"හ්ම්....."

"මේ කවුද හලෝ අර ළමයා.....?"

ගහෙන් ගෙඩි එන්නා වගේ අයියා අහපු ප්‍රශ්නෙට මං හොල්මන් වුණා...

"මොන ළමයද....?"

මේ රටේ ළමයි නං කොච්චර ඉන්නවද.... මෙයා මොන ළමෙක් ගැන අහනවද මංදා.....

"අර තමුසෙ කියෙවුව ළමයා..... කියනවකො... කවුද ඒ....."

මේ භූතයට පිස්සු තද වෙලාද මංදා.... කියන දෙයක් තේරෙන සිංහලෙන් කියන්න එපැයි... මගෙ යකා ඇවිස්සෙන්නේ ඔය වගේ ඔල්මොරොන්දං වැඩ වලට තමයි....

"මේ.... නෑනෝ......"

අයියගෙ විකාර ප්‍රශ්නෙට උත්තර නොදී මං අක්ක දිහාවට හැරුණා... උත්තර දෙන්නත් ඉතින් ප්‍රශ්නෙ තේරෙන්න එපැයි.....

"මේ.... තමුන්ගේ මහත්තයගේ ඔළුව කොහෙහරි වැදුණද....."

"සුදූ..... මොකක්ද ඔය කතා කරන විදිහ.... අසනීපයි කියලා බලන්නේ නෑ මං දෙනවා හොඳවයින් දෙකක්...."

ඒ අපේ අම්මා.....

අනේ මංදා අපේ අම්මට විහිලුවටවත් තේරෙන්නේ නෑනේ.... නෑනා නං දන්නවා මං මෙහෙම කතා කරන්නේ කට වාචාලකමට නෙවෙයි අපේ අයියා කෙරේ මගෙ හිතේ හට ගත් පිවිතුරු සොහොයුරු පෙමින් කියලා.... ඕක ඉතින් අම්මට තේරුම් කරන්න ගියොත් මට තව දවස් දෙක තුනක් මේ රූම් එකේම නවතින්න වෙනවා....

"හරි අම්මා සොරී..... ගැත්තාට සමාවන සේක්වා හොඳේ...."

මං අහිංසක මූණක් මවාගෙන කිව්වා... අක්කා කට තද කරගෙන හිනා වෙනවා... අම්මා මං දිහාට රවලා අහක බලා ගත්තා... මං දන්නවා එයා දැන් අනිත් පැත්ත බලන් හිනා වෙනවා කියලා...

"අහ්.... මේ අක්කෙ.... මං අහපු ප්‍රශ්නෙට උත්තරයක් දෙනවකො....."

මොන උත්තර ද..... මෙන්න අක්කා කටත් ඇරන් මං දිහා බලන් ඉන්නවා...

ඇයි දෙයියනේ අපේ ගෙදර මිනිස්සුන්ට මං ගෙදර නැති දවස් දෙක තුනට මොන පිස්සුවක් හැදිලද.... එක්කෙනෙක් විකාර කතා අහනවා... තව කෙනෙක් ප්‍රශ්නයක් ඇහුවාම හොල්මන් වෙලා වගේ බලන් ඉන්නවා....

"මොකද හලෝ බය වෙලා වගේ බලන් ඉන්නේ... ඔළුව තදේට වැදුණද.... හංගන්නේ නැතුව කියනවා... ඉක්මනට මෙතනින්ම ඩොක්ටර් කෙනෙක් චැනල් කරලා පෙන්නන්න...."

අක්කට මොනවත් කියන්න ඉඩ නොදී අයියා මගෙ කනෙන් ඇද්දා.....

"යන්තං ටිකක් පණ ගහලා ආව විතරයි... බලන්න එපැයි මේකිගෙ කට... "

"ආ...ව්... අත අරිනවා මගෙ කන..... මට රිදෙනවා මෝඩයො...."

අයියාගෙයි මගෙයි විකාර බලන් ඉඳලා අම්මටයි අක්කටයි හිනා... හැමදාම ඉතින් ඔහොමනේ... අපි දෙන්නා ඉන්නේ ඒ දෙන්නව හිනා ගස්සන්න....

"මේ කියනවකො.... කවුද හලෝ අර කියපු ළමයා...."

අයියා ආයෙම පටන් ගත්තා....

"මොන ළමයෙක් ගැන අහනවද මංදා.... මං දන්න ළමෙක් නෑ.... "

"එහෙනං අර උණ විකාරෙන් දෙඩෙව්වේ..... අනේ බබා අඬනවා.... මට එයා ළඟට යන්න දෙන්න.... එයාව නළව ගන්න ඕනේ කිය කියා...."

ඔන්න එතකොට මාව උඩ විසික් වුණා....

දෙයියනේ.... මං ඇත්තටම එහෙම කියලද.... ඒ කියන්නේ... සිතිජගෙ බබා ගැන මං උණ විකාරෙන් කියවලද..... "

මට උන් හිටි තැන් අමතක වුණා... මං තව මොන මොනවා කියලද දන්නේ නෑ.... එහෙමයි කියලා මෙයාලගෙන් අහන්නයැ.....

"මේ කවුද ඕයි ඒ බබා.... තමුසෙ නිව්සීලන්ඩ් ඉද්දී අපිට හොරෙන් ළමයෙක්වත් හදා........"

"ලොකූ......"

අම්මගෙ සද්දෙට අයියගෙ කතාව නැවතුණා.... ඒ එක්කම අයියා ඉඳන් උන්න තැනින් නැගිට්ටුණා.... අක්කත් බය වෙලා වගේ මං දිහා බලන් ඉන්නවා....

අයියට කියවුණ දේවල් වල බරපතලකම තේරුණේ එතකොට වෙන්න ඇති... එයා ඔළුවෙ අත ගහ ගත්තා...

ඒත් එක්කම අම්මා ඉකි ගහන සද්දේ මට ඇහුණා.... අක්කා අපි දෙන්න දිහා බලලා අම්මාව සනසවන්න යද්දී අයියා බලන් උන්නේ වරදකාරී හැඟීමක් මූණෙ රඳවගෙන....

"අම්මා..... මං හිතලා නෙවෙයි එහෙම කිවුවේ.... සොරි..... මං... මං ගිහිං ඩොක්ටර්ව මීට් වෙලා එන්නම්..."

ඔළුවත් පහළට හරවගෙන අයියා රූම් එකෙන් පිට වෙද්දී මට බලන් ඉන්න බැරි වුණා.... මොකද මෙතනදි එයාගෙ කිසිම වරදක් නෑ.... මං ඇඳෙන් නැගිටලා ගිහිං අයියගෙ අතින් අල්ල ගත්තා...

"අ... අයිම්....සොරි සුදූ.... මං ඒක හිතලා නෙවෙයි කිවුවේ.... ඒක... ඒක ඒකපාරටම කියවුණා... මට ඔයාව රිද්දන්න ඕනේ වුණේ නෑ....මේ ඇත්තමයි..."

අයියා මගෙ අත් දෙක එයාගෙ ලොකු අත් අතරෙ හිර කරගෙන පොඩි එකෙක් වගේ කියවන් ගියා... ඒ කටහඬ හොඳටම බිඳිලා ගිහිං තිබුණා...

"අයියා.... මේ අහන්න.... ඔයා සොරි කියන්න ඕනේ නෑ..... ඒ ගැන හිතන්න එපා.... මං ඒ ගැන හිතුවෙත් නෑ.... මේ ඇත්තමයි.... ප්ලීස් අයියා.... ඔයා ඔහොම උන්නොත් තමයි මට දුක හිතෙන්නේ.... ඒක අමතක කරන්න...."

අයියා මාව ඇදලා අරන් එයාගෙ පපුවට තුරුල් කර ගත්තා....

සමහර දේවල්වලට පුරුදු වුණාම ඒ දේවල් ගානක් නැතුව යනවා... සාමාන්‍ය දේවල් වෙනවා... දුකක් වුණත් එහෙමම තමයි....

මං දුක් වුණ වැළපුණ කාලයක් තිබුණා... ඒත් දැන් එහෙම නෑ.... අපිට අයිතියක් නැති දේවල් වලට අඬලා දොඩලා පලක් නෑ.... ලැබිලා තියෙන දෙයින් සතුටු වෙන එකයි හොඳම දේ.... එතකොට හිතට සැනසීමයි.....

##############

උදේම කතාව දාන්නම් කියලා පොරොන්දු වුණාට ඒක කරන්න බැරි වුණා අනේ.... සොරි හොඳේ... ඊළඟ කොටස නං දාන්න වෙන්නෙ අඟහරුවාදාට තමයි... තරහ වෙන්න එපා කට්ටිය....

ඒ වගේම කතාව කියවලා ඔයාලගෙ අදහස් කියලා යන්න යාළුවනේ....



Photo

Post has attachment
දවසක් ඒවිද...

අටවන කොටස


ඇඳෙන් නැගිට්ට මං ෆෝන් එක අතට අරන් වෙලාව කීයද කියලා බැලුවා... පාන්දර එකත් වෙලා.... මං නිදා ගන්න කියලා ඇඳට ආවෙ රෑ අටට නවයට විතර... ඒත් එක මොහොතකටවත් ඇහැ පියවුණේ නෑ.... ඇඳ ළඟ තියලා තිබුණ වතුර වීදුරුවෙන් උගුරු දෙක තුනක් බීලා ආයෙම මං කොට්ටෙන් ඔළුව තියා ගත්තා....

ඇස් දෙක පියා ගන්න හැම වෙලාවකම මට අර චූටි පැටියගෙ මූණ පේනවා.... එයා හුස්ම නොගෙන එක සීරුවට අඬනවා ඇහෙනවා... බැරිම තැන මං ඇඳේ පැත්තක තිබුණ කොට්ටයක් අරන් කිසිම දෙයක් ඇහෙන්නේ නැති විදියට කනට තද කර ගත්තා..... ඒත් මට කිසිම සැනසීමක් දැනුණෙ නෑ....

කොට්ටෙත් පැත්තකට විසික් කරපු මං ඇඳෙන් නැගිටලා බැල්කනියට ආවා....

සිතිජගෙ ගෙදරින් එළියට බැහැපු මොහොතෙ ඉඳන් මගෙ හිතට කිසිම සැනසීමක් නෑ.... එහෙ යන්න ගත්ත තීරණේ තමයි මේ හැමදේකටම මුළ....

"මොන එහෙකට මං එහෙ ගියාද.... මට එහෙම නොකර ඉන්නයි තිබුණේ..."

මං මටම බැන ගත්තා... ඇත්තටම මට තිබුණෙ මං ගැන ලොකූ කේන්තියක්....

අවුරුදු හතරක් තිස්සේ මහන්සි වෙලා අමාරුවෙන් හදා ගත්ත මගෙ හිත..... අද එක මොහොතකින් ආයෙම පෑරුණා....

මං අත් දෙකෙන්ම මගෙ කොණ්ඩෙ අවුල් කරගත්තා... මේ වෙලාවෙ මගෙ හිතේ තියෙන්නේ දුකක්ද, කලකිරීමක්ද, වේදනාවක්ද එහෙම නැත්තං වෙන මොකක් හරිද කියලා මට හිතා ගන්න බැරි වෙලා තිබුණේ....

බැල්කනියෙ සුදු යකඩ වැටට බර වෙලා මං අහස දිහා බැලුවා.... ඒත් අර නවල්ස්වල තියෙනව වගේ ලස්සනක් නං මට ඒ අහසෙ පෙනුණේ නෑ.... හඳ පේන්න නෑ.... ආසවට බලන්න කියලා එක තරුවක්වත් නෑ.... මට පෙනුණ සීමාවේ තිබුණෙ කළු පාට විතරයි.... ඒකත් හරියට දැන් මේ මගෙ හිත වගේ....

මං ලංකාවට එනකොට මගෙ හිත හරි ලස්සනට තිබුණා... හරියට හඳේ එළිය වැටුණ, තරුවලින් හැඩ වුණ අහසක් වගේ... ඒත් අද දවාලේ ඉඳලා ඒ හිත කළුවර වෙලා....

ඇත්තටම නං මම එහෙ ගියෙ සිතිජව දකින්න.... පවනි ඉස්සරහ උනත් වෙනසක් නැතුව මට ඉන්න පුළුවන් කියලා මං හොඳටම දැනන් උන්නා... මට විශ්වාසයක් තිබුණා මගෙ හිත ආයෙ කැඩෙන්නේ නෑ කියලා... ඒත් මේ උනේ මං හීනෙන්වත් නොහිතපු දෙයක්නේ....

මගෙ හිත ඇසිල්ලකින් ආයෙම දුවගෙන ගියේ මං වළලලා දාන්න මහන්සි වුණ ඒ අතීතෙට....

හැමදේම හීනයක් වගේ....

ඒ දේවල් මතක් වෙද්දි, ලොකූ සුසුමක් පිට වුණේ මටත් නොදැනිමයි....

සිතිජයි මායි හොඳම යාළුවො.... අපි කොලේජ් ආවෙ ගියේ එකට....කෑවෙ බිව්වේ එකට... කොටින්ම කියනව නං මට සිතිජගෙ ගෙදරවත් සිතිජට අපේ ගෙදරවත් ආගන්තුක වුණේ නෑ... පුංචි කාලෙ ඉඳලම අපි හැදුණේ වැඩුණේ එකට...

කොලේජ් එකේදී කාට හරි මාව හොයා ගන්න ඕනෙ නං එයාලා එන්නේ සිතිජ ඉන්න තැනට.... සිතිජව හොයා ගන්න ඕනෙ නං ඒ අය එන්නේ මං ඉන්න තැනකට... මොකද අපි ඉන්නේ එකටමනෙ... අනික අපි දෙන්න ගැන මොකක් හරි විස්තරයක් දැන ගන්න ඕනෙ නං අහන්න ඕනෙත් අපි දෙන්නගෙන්ම තමයි.... අපි දෙන්න ගැන දන්නේ අපි දෙන්නම විතරයි...

කොලේජ් ගිය මුල් කාලෙ නං අපි දෙන්න අතරෙ එෆෙයාර් එකක් තියෙනව කියලා සමහරු වැරදි විදිහට තේරුම් අරන් තිබුණා... ඒත් කල් ගත වෙද්දී ඒ අය ඇත්ත තේරුම් ගත්තා විතරක් නෙවෙයි අපි දෙන්න එකට ඉන්න එක සාමාන්‍ය දෙයක් බවටත් පත් වුණා...

කාලයත් එක්ක අපේ සමහර අදහස් වෙනස් වෙනවා... අලුත් හැඟීම් ඇති වෙනවා... අපි හිතන පතන විදිහ අලුත් වෙනවා.... මටත් උනේ ඒ දේමයි... සිතිජ ගැන මගෙ හිතේ එච්චර කල් තිබුණ හැඟීම සම්පූර්ණයෙන්ම වෙනස් වුණා...

ඔව්.... අපි අතරෙ තිබුණ යාළුකම ආදරේකට පෙරළුණා.... ඒත්.... අපි කියල කිවුවට.... ඇත්තටම ආදරේ කළේ මං විතරයි.... ඒකපාර්ශවික ආදරයක්...

ඒක මොන විදිහට කවදා ඇති වුණාද කියන්න මං දන්නේ නෑ.... මුලින් නොතේරුණාට පහු වෙනකොට මං තේරුම් ගත්තා මගෙ හිතේ ඇති වුණ ඒ හැඟීම ආදරයක් කියලා...

ඒත්..... ඒ හැඟීම කවදාවත් වචනවලට පෙරළුණේ නෑ... ඉතින් සිතිජ මේ ගැන දැන ගත්තේ නෑ.... මං තනියම ආදරේ කළා...

සිතිජ කෑවද බිවුවද කියන එකේ ඉඳලා මං හොයල බැලුවා... කාටවත් මං ඒ කරපු දේවල්වල වෙනසක් තේරුණේ නෑ... මොකද අපි දෙන්න එකටම උන්න හින්දා කවුරුවත් ඒක විශේෂයක් විදිහට දැක්කේ නෑ...

කාලය ගෙවෙන්න ගෙවෙන්න මගෙ හිතේ සිතිජ ගැන ඇති වුණ ආදරේ ටිකෙන් ටික වැඩි වුණා... ඒත් ඒ ආදරේ එයාට කියන්න විදිහක් මට තිබුණේ නෑ....

මං හිතුව කවදා හරි දවසක සිතිජත් මට ආදරේ කරයි කියලා... ඒ වගේම එක වෙලාවකට මට හිතුණා, වචනෙන් නොකිවුවට එයත් මට ආදරේ ඇති කියලා....

ඒ හිනාවට, කතාබහට විතරක් නෙවෙයි එයාගෙ බැල්මකට පවා මං ආදරේ කරන්න පටන් අරන් තිබුණා....

සිතිජ මාත් එක්ක ඉන්න හින්දා කොලේජ් එකේ කිසිම කොල්ලෙක් මට වැරදි විදිහට එක වචනයක්වත් කියලා නෑ.... මං කලිනුත් කිවුව වගේ සමහරු හිතන් උන්නේ සිතිජ මගෙ බෝයි ෆ්‍රෙන්ඩ් කියලා... මට නං ඒ හිතන් උන්න විදිහ වෙනස් කරන්න ඕනේ වුණේ නෑ.... ඒ වගේම සිතිජ වුණත් ඒ වරද හදන්න උත්සහ කරනවා මං දැකලා නෑ....

අපේ අයියා ළඟදි මට දැනෙන ආරක්ෂාව අඩුවක් නැතුව සිතිජ ළඟදිත් දැනුණා.... සමහර දේවල් එයා මට තේරුම් කරලා දුන්නේ හරියට තාත්තා කෙනෙක් වගේ.... ඒ විතරක් නෙවෙයි.... මං කරන විකාර වැඩවලට අඩුවක් නැතුව සැර කරන එකත් එයා කළා... ආදරයක් කියලා දෙයක් දැනෙන්න කලින් නං ඒ වගේ වෙලාවට මං සිතිජත් එක්ක රණ්ඩු වුණා... ඒත් පහු වෙනකොට මටත් නොදැනිම මගෙ ඇස්වලට කඳුළු පිරුණා.... ඒ කඳුළු කාටවත් නොපෙනෙන්න හංඟ ගන්නත් මට සිද්ධ වුණා... මොකද එහෙම නොවුණොත් සිතිජ විතරක් නෙවෙයි අනිත් අයත් බලයි මට හැදිලා තියෙන ලෙඩේ මොකක්ද කියලා.....

ඕනෙම කෙල්ලෙක් කැමතී තමන් ආදරේ කරන කොල්ල ඉස්සරහ හුරතල් වෙන්න.... ආදරේ විඳින්න.... එයාගෙ අතින් අල්ලගෙන හැමතැනම ඇවිදින්න... ඒත්.... මට ඒ සතුට ලබන්න අවස්ථාවක් ලැබුණේ නෑ.... මොකද... මං ආදරේ කළාට සිතිජ මට ආදරේ කරනවද නැද්ද කියලා මං දැනන් උන්නේ නෑ.....

මොකක්දෝ සීතලක් මගෙ කම්මුල් වලට දැනෙද්දි මං ආයෙම වර්තමානෙට ආවා.... කම්මුල් අතගාලා බලද්දී ඒවා කඳුළු වලින් හොඳටම තෙත් වෙලා.... හරියට ඉස්සර වගේ...

ඒකපාර්ශ්වික ආදරයක් කරද්දී විඳින්න වෙන වේදනාව දන්නේ එහෙම ආදරේ කරපු කෙනෙක්ම විතරයි.... ඒක සුළුපටු වේදනාවක් නෙවෙයි... හිතට මොනතරම් වේදනාවක් ගෙනාවත් කාටවත් ඒ දේවල් කියන්න විදිහක් නෑ.... අපි ආදරේ කරන කෙනා අපි ඉස්සරහ ඉඳලත් ඒ ආදරේ කියා ගන්න විදිහක් නෑ....

ඒත් මේ හැමදේම හිතේ තියාගෙන වුණත් මං සතුටින් උන්නා... හිතේ ලොකුම ලොකු බලාපොරොත්තුවකුත් තිබුණා.... ඒ වෙනුවෙන් ඕනෙම කාලයක් බලන් ඉන්නත් මං මගෙ හිත පොරොන්දු කර ගත්තා...

ඒත් මේ හැමදේම කනපිට පෙරලෙන්න ගත්තේ මං හිතුවෙවත් නැති වෙලාවක...

###############
Photo

Post has attachment
දවසක් ඒවිද...

හත්වන කොටස


"බලන්නකො නෝනෙ කවුද ඇවිත් ඉන්නේ කියලා...."

ඒ කියලා වැඩි වෙලාවක් ගියෙ නෑ විශාකා ආන්ටි දොර ළඟ.... මාව දැක්කා විතරයි ආන්ටිගෙ ඇස් දෙක ලොකු උනා....

"ෂෙනෝ..... දුව ඔයා.... දෙයියනේ.... කොච්චර කාලෙකින්ද මේ....."

ආන්ටි ඇවිත් මාව බදා ගත්තා....

"කෙල්ල වෙනස් වෙලා තියෙන තරම්.... අඳුනන්නත් බෑ.... ආරංචි උනා නිසීලන්ඩ් ගියා කියලා.... "

ආන්ටිත් හුස්ම නොගෙන කියවනවා...

"ආන්ටී.... ආන්ටිලා මාත් එක්ක මොකක් හරි තරහකින්ද ඉන්නේ...?"

ඒ පාර මං අහපු ප්‍රශ්නෙ හින්දා ආන්ටි වගේම මැණිකෙ අම්මටත් මූණෙන් මූණ බලා ගත්තා....

"අනේ නෑ දුව... ඇයි එහෙම අහන්නේ...?"

"නෑ ඉතින් ආපු වෙලාවෙ ඉඳලා එළියෙ තියාගෙන මාත් එක්ක කතා කරනවා... හරියට මෙතනින්ම හරවලා යවන්න වගේ...."

එළියට පනින්න හදන හිනාව බොහොම අමාරුවෙන් හිර කරගෙන දෙන්නම මාව ගේ ඇතුළට එක්කන් ගියා....

ඒ යනකොටම මට දැනුණේ හරි අමුතු සුවඳක්.... අඳුන ගන්න ටිකක් වෙලා ගියත් මට හුරු පුරුදු සුවඳක් කියලා නං තේරුණා...

"මොකද දුවේ....?"

ගෙට ඇතුල් උන ගමන් මං ඉව අල්ලනවා දැක්ක හින්දද කොහෙද ආන්ටි ඇහුවා....

අනේ මංදා..... ඒ සුවඳ මට හැමදෙයක්ම අමතක කෙරෙව්වා....

"ආන්ටී.....ඒ... ඒ එන සුවඳ......"

ආන්ටිත් ටිකක් වෙලා කල්පනා කළා....

"ආහ්... ඒ හඳුන්කූරු සුවඳක්නේ...."

මං හිනා වෙලා ඇවිත් සෙටියෙන් ඉඳ ගත්තේ ගෙනාව මළු ටික ස්ටූල් එක උඩින් තියන ගමන්...

ආන්ටි කිවුව දෙ මං පිළි ගත්තා කියලා පෙන්නුවත් මගෙ හිත කියනවා ඒ හඳුන්කූරු සුවඳක් නෙවෙයි කියලා.... මේ හඳුන්කූරුවලටත් වඩා වැඩි සුවඳක්... ඊට වඩා සොෆ්ට්.... අනේ මට කියන්න තේරෙන්නේ නෑනේ...

"කොහොමද ආන්ටි ඉතින්..... "

"අපි හොඳින් ඉන්නවා දුවේ.... "

එහෙම කිවුවට ඒ මූණෙ හැංගුණ මහා දුකක් තිබුණ කියලා මට හිතුණා....

"කෝ ආන්ටි විජේ අංකල්.....?"

මං වටපිට බලන ගමන් ඇහුවා... මං ඇවිත් දැන් විනාඩි පහළොවක් විතර උනත් කිසිම කෙනෙක් පේන්න නෑනේ....

"අංකල් ටවුන් එකට ගිහිං එන්න ගියානේ දුවේ....දැන් එයි...."

ඒ අතරෙ මං දැක්කා මැණිකෙ අම්මා කිචන් එක පැත්තට යනවා....

සිතිජ කෝ කියලා අහන්න ඕනෙ වුණත් ඒක කෙලින්ම අහන්න බැරිකමක් මට දැනුණා....

ඒත් එක්කම ගේ ඇතුළෙන් අමුතු සද්දයක් ඇහුණා.... ඒක හරියට පොඩි එකෙක් අඬනවා වගේ....

"ටිකක ඉන්න දුවේ.... මං ඉක්මනට එන්නං...."

ආන්ටි අඩියට දෙකට පඩි පෙළ නැග ගෙන ගියා...

වගේ නෙවෙයි.... ඒ පොඩි එකෙක්ම තමයි....

සෙටියෙන් නැගිට්ට මං ආන්ටි ගිය දිහාවට යන්න පියවර තිබ්බා.... ආන්ටි, මට මෙතන ඉන්න කියලා ගියාට මගෙ හිත කියන්නෙම ගිහිං බලන්න කියලයි...

අත් වැටත් අල්ලගෙන මං හෙමින් සැරේ උඩ තට්ටුවට නැග්ගා.... තියන හැම පියවරක් ගානෙම මට කලින් දැනුණ සුවඳ තව තවත් වැඩියෙන් දැනුණා...

මේ ගේයි හැම අස්සක් මුල්ලකම මට හොඳට හුරු පුරුදුයි.... මං දිගටම ඇවිදන් ගියා.... දැන් දැන් අර සද්දෙ හුඟක් ළඟින් ඇහෙනවා....

මං කෙලින්ම ගියෙ ආන්ටිලගෙ රූම් එකට... දොර රෙද්ද ටිකක් එහාට කරලා බලපු මං, දැක්ක දෙයින් පුදුම උනා... එතකොටම මට මෙච්චර වෙලා දැනුණ සුවඳ මොකක්ද කියලා තේරුණා...

ආන්ටි අතේ චූටිම චූටි බබෙක්..... මටත් නොදැනිම මගෙ කකුල් එතෙන්ට ඇදුණා...

"දුවේ........"

ඒ චූටියා හොඳටම අඬනවා..... ආන්ටි එයාව නළව ගන්න මහන්සි වෙනවා....

මං හෙමිහිට බබාගෙ අතකින් අල්ලලා බැලුවා.... හරිම සිනිඳුයි..... ඇස් දෙකත් ලොකු කරගෙන මං චූටියා දිහා බලන් උන්නා.... රැහැයියෙක් වගේ එක සීරුවට කෑ ගහනවා....

"දුවේ.... මං දරුවව ඇඳෙන් තියලා ගිහින් කිරි එක අරන් එන්නං... ටිකක් බලන්න හොඳේ...."

ආන්ටි බබාව කොට්ට වලින් වට කරලා තිබුණ සීමාව ඇතුළෙන් බබාව තියලා පහළට දිව්වා...

තාමත් චූටියා අඬනවා.... මට බලන් ඉන්නකොටත් මොකක්ද වගේ... මගෙ ඇස්වලට කඳුළු පිරීගෙන ආවා.... හීනෙන් වගේ මට මතකයි මං එයාව මගෙ අත් දෙකට ගන්නවා...

"දුවේ.........."

ඒ සද්දෙට මාව ගැස්සුණා.... දිගම දිග නින්දකින් ඇහැරුණා වගේ මට දැනුණා... මං උන්නේ බැල්කනි එකේ.... චූටියා මගෙ පපුවට තුරුල් වෙලා නිදි....

මීට ටික වෙලාවකට කලින් මොකද උනේ කියලවත් මට හිතා ගන්න බෑ.... මං කොල්ලවත් අරගෙන කාමරේට යන්න හැරුණා... ආන්ටි එතන... මැණිකෙ අම්මත් ඇවිල්ලා...

"කෙල්ලට නින්ද ගිහිං නේද දුවේ....."

ආන්ටි චූටියගෙ ඔළුව අත ගාන ගමන් ඇහුවා....

"ෂෙනෝ බබාට පොඩි දරුවො නළවල හුරුයි වගේ...."

ඒ මැණිකෙ අම්මා....

මං පරිස්සමට චූටියව ඇඳෙන් තිබ්බා...

"ඇයි මැණිකෙ අම්මේ එහෙ පුතාටත් කෙල්ලෙක් ඉන්නවනේ... පොඩි කාලේ නළවල පුරුදු ඇති...."

ආන්ටි එහෙම කිවුවත් මට ළමයි නළවලා පුරුද්දක් තිබුණේ නෑ... අයියගෙ දුවව උනත් මං එහෙම නළවල තිබුණේ නෑ... එයා පොඩි කාලෙමනෙ මං ලංකාවෙන් ගියෙත්.... අනික පොඩ්ඩි ඉපදුණාට පස්සේ මං එයාව අතට අරන් තියෙන්නෙ අතේ ඇඟිලි ගානටත් වඩා අඩුවෙන්... මට බය හිතුණා එයාව මගෙ අතින් වැටෙයි කියලා... නිදා ගත්තට පස්සේ නං මං එයා ළඟට වෙලා බලන් ඉන්නවා.... එච්චරයි...

ඒත් අද ඊට වඩා ගොඩක් වෙනස්... මට මොකද උනේ කියලා මටත් හිතා ගන්න බෑ....

"ආන්ටි.....මේ.... බබා.... කාගෙද....?"

හිතේ කැකෑරෙන ප්‍රශ්නයක් මං අමාරුවෙන් ඇහුවා...

"අපේ සිතිජගෙනෙ දුවේ....."

ආන්ටි එහෙම කිවුවේ මහා ආඩම්බරයකින්.... එයාගෙ මූණෙන් මට ලොකූ සතුටක් පෙණුණා... හරියට පොඩ්ඩි ඉපදුණාම අපේ අම්මගෙ මූණෙ තිබුණා වගේ සතුටක්.....

ඒත් ඒ වචන ටික මගෙ පපුව පුදුම විදියට රිද්දුවා.... මේ බබා එතකොට සිතිජගෙයි පවනිගෙයිද.... නොහිතපු වෙලාවක දැනුණ මේ වේදනාව, මාව සම්පූර්ණයෙන්ම අසරණ කළා.... ඇඬෙයි කියලා බයට මං යටි තොල හපා ගත්තා.....

"යමු දුවේ පහළට තේ ටිකක් බොන්න....."

මං බිම බලාගෙනම ඔළුව වැනුවා...

ආයෙම පාරක් බබා දිහා බැලුව මං ආන්ටිලා පස්සෙන් වැටුණා...

කාමරෙන් එළියට යන්න බැරි මොකක්දෝ අමුතු බැම්මකින් මාව බැඳලා තියෙනවා කියලා මට හිතුණා...

ආන්ටිලාට යන්න ඇරලා ආපහු දුවගෙන ආව මං චූටියගෙ නළල ඉම්බා.... දරා ගන්න බැරිකමට ඇස්වලින් එළියට පැනපු කඳුළු බිංදු දෙක තුනක් එයාගේ ඔළුවට වැටුණා....

කෑගහලා අඬන්න ඕනේ කියලා මට හිතුණත්... මේ ඒකට වෙලාව නෙවෙයි.... අමාරුවෙන් ඇඬුම් හිර කරගත්ත මං ඉක්මනට ඒ කාමරෙන් ආවෙ ආයෙ මෙහෙ එන්නේ නෑ කියලා හිතාගෙන...

ආන්ටිලාගෙ හිත රිද්දන්න බැරිකමට තේ බීලා යන්න මං නැවතුණා.... උඩින් හිනා වෙලා උන්නට මං ඇතුළෙන් උන්නේ පිච්චි පිච්චි....

"ආන්ටි.... මං ගිහින් එන්නං....."

"අනේ දුවේ... ඇයි මේ ආ පයින්ම යන්න හදන්නේ... ගොඩ කාලෙකින්නේ ආවෙ... බත් ටිකක් එහෙම කාලා යමු....."

බෑ... බෑ... මට තව එක මොහොතක්වත් මේ ගෙදර ඉන්න බෑ... එහෙම උනොත් මට මාවම කන්ට්‍රොල් කර ගන්න බැරි වෙයි....

"ඒකනෙ ෂෙනෝ බබා... මං බබා කැමති විදිහටම කෑම ටික හදන්නං..."

"අනේ.... තරහ වෙන්න එපා ආන්ටි.... මං කෑම කාලා යන්න වෙන දවසක එන්නංකො... අද නං මට ටිකක් ඉක්මනට යන්න ඕනේ..."

මං බොරුවක් ගැට ගහ ගත්තා... මං කරපු දේ හරි කියලා මට හිතුණා විශාකා ආන්ටිගෙ මූණ දැක්කාම.... ඉන්න කියලා කිවුවට ආන්ටිගෙ මූණෙන් මට පෙනුණේ ඒකෙ අනිත් පැත්ත....

ඒ ඇයි කියලා හිතන්න තරම් නිදහසක් මගෙ හිතේ තිබුණේ නෑ...

අන්තිමට, ඒ කියන්නේ අවුරුදු හතරකට කලින්, මං මේ ගෙදරින් එළියට බැහැපු විදිහටම අදත් ලොකූ බරක් හිතේ තියාගෙන මං යන්න යනවා... ආයෙ කවදාවත්ම මේ පැත්ත හීනෙන්වත් බලන්නේ නෑ කියලා හිතාගෙන මං ගේට්ටුවත් වහගෙන පාරට ආවා....

###############
Photo

Post has attachment
දවසක් ඒවිද...

පස්වන කොටස


"ෂෙනෝ..... මේ ඇත්තටම උඹද...."

"කොහෙද බං මෙච්චර දවසක් ගිහිං උන්නේ..."

වගීෂ මාව අඳුන ගත්තා උනත් එයාට මාත් එකක් කතා කරන්න ලැබුණේ නෑ..... අපේ අනිත් කට්ටිය ඇවිත් මාව වටකර ගත්තනේ..... හැමෝටම පුදුමයි මාව මෙහෙම දැක්කාම.... කවුරුවත් මෙතනදි මාව බලාපොරොත්තු උනේ නෑනේ.... සමහරවිට ඒ අයට ෂෙනෝ කියලා කෙනෙක් උන්න බවක්වත් මේ වෙනකන් මතක් නොවෙන්න ඇති...

කට්ටියම වට වෙලා මගෙන් ආගිය තොරතුරු ඇහුවා... ඒත්.... මගෙ යාළුවො මාව මේ තරම් හොඳට පිළිගනී කියලා මං හිතුවෙ නෑ.... මොකද මං ලංකාවෙන් යන්න ගියෙ කාටවත්‍ යන්නං කියන්නෙ නැතුව.... ඒ ගිහිල්ලත් මං මේ කිසිම කෙනෙක්ව ආයේ ආශ්‍රය කළේ නෑ... ලංකාවෙ මට මෙහෙම ජීවිතයක් තිබුණ කියන එකත් මං සම්පූර්ණයෙන්ම අමතක කරලා දැම්මා... හරියට මැරිලා ඉපදුණා වගේ....

කෙල්ලො, කොල්ලො සේරටම එක එක විදිහෙ ප්‍රශ්න තිබුණ මගෙන් අහන්න.... ඒවට උත්තර දෙන අතරෙ අහම්බෙන් මං දැක්කා පැත්තකට වෙලා හිනා වෙවී මං දිහා බලන් ඉන්න සෂීවයි, වගීෂවයි.....

එතනින් එහා ගෙවුණේ හරිම ලස්සන... ඒ වගේම විනෝදජනක කාලයක්.... මට දැනුණේ අවුරුදු ගානක් පස්සට ගිහිං වගේ...

මට කියන්න අමතක උනානේ.... අපි මේ ඇවිත් උන්නේ අපේ සෙට් එකේ හිටපු අහිංසකම ගෑණු ළමයගෙ එන්ගේජ්මන්ට් එකට.... ඒ වැඩ ටික ඉවර වෙලා, කෑම එහෙම කාලා ඉවර වුණ කට්ටිය ඊළඟට ලෑස්ති වුණේ ඩාන්ස් කරන්න....

මොන තරම් ලොකු හිතේ සැනසීමක් තිබුණා වුණත් මට ඩාන්සින් ෆ්ලෝ එකට යන්න හිතුණෙ නෑ.... ඒ හින්දා මං පැත්තකින් ඉඳගෙන උන්නා... කට්ටිය එන්න කියල බල කරද්දිත් මං ගියෙ නෑ... පස්සේ එන්නං කියලා ෂේප් වුණා...

ඔක්කොමලා සතුටු වෙන දිහා බලන් උන්න මං එක පාරටම ගැස්සිලා ගියෙ ළඟින් කවුරු හරි ඉඳ ගන්නවා වගේ තේරුණ නිසා...

ඩාන්ස් කරලා මහන්සියට හති දදා ඇවිත් මං ළඟින් ඉඳගෙන තිබුණේ වගීෂ....

"මොකද මෙතෙන්ට වෙලා තනියම.....?"

වගීෂ අහපු දේට උත්තරක් නොදී මං හිනා වුණා... ඒ අතරෙ වගීෂ මේසෙ උඩ තිබුණ, බාගයක් හිස් වුණ ස්ප්‍රයිට් බෝතලේ අරගෙන ඒකෙන් ටිකක් කටේ හලා ගත්තා...

"මහන්සි හලෝ....."

"මහන්සි නැතුව තියෙයිද අර නටපු හැටියට...."

වගීෂ මට විරිත්තන ගමන් ෂර්ට් එකේ උඩම බොත්තන් දෙක ගැලෙව්වා... දාඩිය දාගෙන මහන්සි වෙන්න බැරි නං මේ මං වගේ පැත්තකට වෙලා ඉන්න තිබුණනේ....

"වගීෂ......."

මෙච්චර වෙලා හිතේ තියන් උන්න ප්‍රශ්නයක් අහන්න මං මුල පිරුවා...

"යර්ස් ස්පීකින්......"

සාක්කුවෙන් ඇදලා ගත්ත ෆෝන් එක ඔබන ගමන් උනත් මගෙ කතාවට ඇහුන්කන් දෙන්න වගීෂ ලෑස්ති වෙලා උන්නා...

"ඇයි අද සිතිජ ඇවිත් නැත්තේ.....?"

එකපාරටම වගීෂ ගැස්සුණා... මං දැක්කා එයා ඒක හංග ගන්න හැදුවත්.... මට හිතා ගන්න බැරි ඇයි එහෙම වුණේ කියල...

"මගෙන් අහන්නේ ඇයි.... ඔයා දන්නේ නැද්ද....?"

වගීෂ එහෙම ප්‍රශ්නයක් ඇහුවෙ ඇයි කියල මං දන්නවා... සිතිජයි මායි කොලේජ් එකට එන්න කලින් ඉඳලම යාළුවෝ.... ඒ වගේ දුර යාළුකමක් තියාගෙන ඉඳලත් මං සිතිජ ගැන එයාගෙන් අහන එක ලොකු විහිලුවක් තමයි...

අනිත් අයගෙ වගේම සිතිජගෙයි මගෙයි අතරෙ තිබුණ සම්බන්ධෙත්, මං ලංකාවෙන් ගියාට පස්සේ නතර වුණා කියලා වගීෂ දන්නේ නැතුව ඇති....

"දන්නවා නං අහනවද හලෝ...."

"ඇයි හදිස්සියෙම ඌ ගැන අහන්නේ....?"

ආයෙම ෆෝන් එක දිහාට මූණ හරව ගන්න ගමන් වගීෂ මගෙන් ඇහුවා...

"මට ඇති හදිස්සියක් නෑ....අද අපේ සෙට් එකේ ඔක්කොමල්ල ඇවිත් ඉද්දි, සිතිජ විතරක් නැති හින්දයි මං ඇහුවේ... "

මං සාමාන්‍ය විදියට කියලා දැම්මා....

"හ්ම්...... එහෙමද....."

"කියනවකො මෝඩයො.... ඇයි සිතිජ ඇවිත් නැත්තේ... මොකක් හරි අර්ජන්ට් වැඩක් වැටිලද...?"

වගීෂට ප්‍රශ්නෙන් පිට පනින්න ඉඩ නොදී මං ඇහුවා...

"ඌට ඉන්වයිට් කරලා නෑ මං හිතන්නේ......"

ඒ අහපු දෙයින් මගෙ ඇස් උඩ ගියා... සිතිජ කියන්නේ අපේ සෙට් එකේ උන්න, නැතුවම බැරි කෙනෙක්.... මං නං හිතන්නේ මෙහෙම යාළුවො සෙට් එකක් හැදෙන්නත් හේතුව එයා... මොකද සිතිජ ඕනෙම කෙනෙක් එක්ක ඉක්මනට හිතවත් වෙනවා... හැමෝටම සලකන්නේ එකම විදිහට... හරිම සෝෂල් කොල්ලෙක්....

එහෙම කෙනෙක්ට ඉන්වයිට් නොකළ කිවුවාම පුදුම හිතෙන එක සාධාරණ නැද්ද....

"ඇයි ඒ....?"

වගීෂගෙන් උත්තරයක් නෑ...

"වගීෂ.... ඇයි සිතිජට ඉන්වයිට් කරලා නැත්තෙ කියනවකො...."

මේක දැන ගන්නේ නැතුව මට අද නින්ද යන්නෙ නෑ කියලා නං හොඳටම ෂුවර්.....

"සිතිජයා දැන් අපිත් එක්ක වැඩිය නෑ.... වැඩිය කිවුවට ඇත්තෙම නෑ....."

මේ කියන හතරබීරි කතාව මට තේරුණේ නෑ... වැඩිය නෑ කියන්නේ මොකක්ද....? වගීෂගෙ උත්තරේ මගෙ හිතේ තවත් ප්‍රශ්නයක් ඉතුරු කළා....

"කියන දෙයක් පැහැදිලිව කියනවකො මෝඩයො..."

වගීෂ මං දිහා බලලා ෆෝන් එක මේසෙ උඩින් තිබ්බා... ඒ මූණෙ තිබුණෙ කරදරකාරී හැඟීමක් කියලයි මට තේරුණේ... ඒත් ඊට වඩා සිතිජ ගැන දැන ගන්න එක වැදගත් හින්දා මං ඒ ගැන වැඩිය හිතුවෙ නෑ....

"සිතිජ පවනිව බැන්දා කියලා ඔයා දන්නවනේ දන්නවනේ...?"

මං මොකද ඒක නොදන්නේ.... ඒ කාලේ ලංකාවෙන් පිට උන්නා උනත් මං සිතිජගෙයි පවනිගෙයි මැරේජ් එක ගැන දැනන් උන්නා... මට මතක විදියට නං මං ලංකාවෙන් ගිය අලුත තමයි දෙන්න එන්ගේජ් උනේ....

වගීෂ මගෙ ඇස්වලට එබිලා බලන් උන්න විදිහෙ අමුත්තක් තියෙනවා කියලා මට ඒ එක්කම දැනුණා.... හරියට මොකක් හරි දෙයක් හොයා ගන්න වගේ.... අනේ මංදා මට ඒක හරියටම කියන්න තේරෙන්නේ නෑ....

"මැරි කළා කියලා මං දන්නවා.... මට ඕනේ සිතිජට ඉන්වයිට් නොකරන්න හේතුව දැන ගන්න...."

"හරි... ඒක තමයි මං මේ කියන්න ලෑස්ති වෙන්නේ...."

මං මගෙ කන් දෙකත් දික් කරගෙන කතාව අහන්න ලෑස්ති වුණා.... මේ දේ දැන ගන්නකං මගෙ හිතට සැනසිල්ලක් නෑ....

#########

පරක්කු උනාට සොරි.... ඉක්මනටම තව කොටසක් දාන්නම් හොඳේ...
Photo
Wait while more posts are being loaded